පෙම්වතෙක්, මනාලියක්, මනමාලයෙක් සහ මනාලියගේ මස්සිනා හෙවත් මේ ලියුම්කරු.
අසම්පූර්ණ නමුත් සොඳුරු ආදරයක්. මම කියන්නම්.
මේ මොහොත වෙනකොට ඔහු රජයේ මණ්ඩලයක සැලකිය හැකි තරමේ රැකියාවක් කරන්නෙක්. නමුත් මනමාලියගේ පාර්ශ්වයේ නෑදෑයන් ගෙන යන රිය පැදවූවේ ඔහු. මනමාලියයි, මනමාලියයි පේරාදෙණිය මල් වත්තේ දොරටුවෙන් දෑත් පටලාගෙන එන හැටි ඒ දෑස් බලා ඉන්නව මං බලාගෙන. නෑදෑ පිරිවර නැවතත් මංගල ජෝඩුව උන්නු, අද දවසේ සතුටු සාමීචිය පැවැත්වෙන ශාලාව කරා පිටත් වුණා.
රතු පාට මංගල ඇඳුමකිනුත්, රතු පාට මල් කලඹකිනුත් සැරසිලා සිය හිමිගේ දෑතේ වෙලිලා ඇය වේදිකාව මත අසුනක වාඩිගෙන ඉන්නවා. දෙපාර්ශ්වයේම හිත මිතුරන්ගේ සුභ පැතුම් පිළිගන්න ගමන්.
කථානායකයා ඉන්නේ මගේ ළඟ!
මම ඔහු ගැන ඔබට කියන්නම්. අද පතිකුලයට යන ඇය ගැන මංගල යෝජනාවක් ගෙන ආව අනෙකා ඔහු. තමන් කැමැත්තෙන් පසු වුණු බලාපොරොත්තු තියාගෙන උන්නු ඇගේ මංගල දිනයේ මගේ ලඟ මේ වාඩි වෙලා ඉන්නේ ඔහු. තවත් එක් පෙම්වතෙක්. ඔව්! සත්තකින්ම...
ශාලාවේ පසෙක අමුත්තන් වෙනුවෙන් මධුවිත පිරෙනවා. මං ඒ දිහා බලන ගමන් ඔහු දිහත් බලනවා. කවදත් මිත්‍රශීලී ඔහු වෙඩින් කේක් කන ගමන් බීම වීදුරුව තොල ගානවා. වේදිකාව මත ඉන්න සංගීතකාරයෝ දෙන්නා තම තමන් ප්‍රිය කරන ගීත ගයද්දි මට ඔහුගේ හදවතින් අමරදේව ගේ ගීතයක් ඇහෙනවා ඇහෙනවා වගේ. මොහොතකට කලින් තොල ගෑව මධුවිත බොහෝ සිතුවිලි පුබුදු කරවලා. හිතට කලාකාමී අදහස් ගලා එනවා. හමුවීමට වඩා වෙන්වීම සොඳුරු මේ අරුමැසි ලෝකයේ තවත් එක් කලාත්මක අවස්ථාවක්.
වෙනසක් නොපෙන්වා සිනාසෙන ඒ පිරිමි දෙනෙත් දිහා බලාගෙන මම මනමාලියගේ මස්සිනා විදිහට - ලොකු අයියා විදිහට - තවත් එක් පෙම්වතෙක්ගේ හදවතින් මතුවෙන්නට අමරදේවට ඉඩ දෙනවා. රුධිර නාලිකාවලට පවා ඇල්කොහොල් මුසු වෙද්දි එක්තරා සොඳුරු පෙම්වතෙක් වෙනුවෙන් මගේ හිත වැලපෙනවා. සත්තකින්ම...
ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්!
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...
හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...
විකසිත පෙම්...
තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...
විකසිත පෙම්...
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - ඩබ්. ඩී. අමරදේව
--------------------------
තමන්ව හැර යන පෙම්වතියට ඇසිඩ් ගසන, මරා දමන, සිය දිවි නසා ගන්නා සාම්ප්‍රදායික, සුචරිතවාදී පෙම්වතුන්ට වඩා ආචාර්ය අජන්තා රණසිංහයන් මේ ගීතය හරහා සිංහල සමාජයට දායාද කරන පෙම්වතා කොයි තරම් අගනේද? ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරමාදර්ශී පෙම්වතෙක්. ප්‍රේමයේ සුන්දරත්වය, නුරාව වගේම විරහවත්, දුකත් සම සිතින් විඳ දරා ගන්න ඔහුට අපූරු හැකියාවක් තිබෙනවා.
මං ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද? පශ්චාත් යුධ මානසිකත්වයේ ඉන්න, කසිකබල් කලා නිර්මාණ හරහා තාරුණ්‍යයේ රසිකත්වය මොට කරපු නිර්වින්දිත සමාජයකට අවශ්‍ය මෙවන් පෙම්වතුන් පෙම්වතියන් නොවේද?
ලියුම්කරු විදිහට හිත ගාව රැඳුණු හැම හැම වචනයකින්ම මා බලාපොරොත්තු වෙන්නෙත් තාරුණ්‍යයේ සිතුම් පැතුම් වෙනස් වීම තමයි. ඉතින් එන්න සොඳුරු හිත ගාවට.
www.facebook.com/
Copyrights - 2013/06/09
No comments:
Post a Comment