Saturday, June 15, 2013

සීනුව වදින තුරා - චරිතා ප්‍රියදර්ශනී

ගෙවී ගිය දවස් සමහරක් හරි ලස්සන ය. තවත් සමහරක් අතිශය ලස්සන ය. අනෙක් ඒවා දුක්බර ය. එහෙන් මෙහෙන් රටා දමා වියූ පැදුරක් මෙන් ජීවිතය අසම්පූර්ණ ය. අපිළිවෙල ය.

ජීවිතයට ළං වන හැම දෙනාම මේ සිත් වෙරළ මත පා සළකුණු තබා නොයති. අනිත් අතට එලෙස කෙනෙකුගේ සිතෙහි පා සළකුණු තබා යන්නට එන හැමෝටම ද නොහැකි ය. පා සළකුණු තැබූ උන්ගේ වටිනාකම, අතීතය, සිහිවටන නෙතට කඳුළක් නංවමින් ද විටෙක සතුටක් ගෙනෙමින් ද දැනෙන්නේ උන් ළඟ නැති දාට ය.

මේ ලියුම්කරු ඔබව ගෙන යන්නේ ස්වකීය අතීතය කරා පමණක් යැයි කියන්නට මට අයිතියක් නැත. මේ මතකානුස්මරණය තුළ බොහෝ දෙනාගේ අතීතයම ගැබ්ව ඇති බව හැඟෙයි.

අහඹු හමුවීම් සහ දෛවයේ ලියැවුණු හමුවීම් ලෙස හමුවීම් කොටස් දෙකක් ඇතැයි කිසිවෙකු කියූ බවක් මට නම් මතක නැත. නමුදු එහෙම හමුවීම් කාණ්ඩගතකලාට ඇති වරදක් ද නැත. මේ තවත් එක් අහඹු හමුවීමකි. අතිශය සොඳුරු "නැවත හමුවීමකි".

පා පුවරුවෙන් ඉහළට ගොඩ වෙත්ම දුටුවේ මගේ 3 වසරේ ගුරුතුමිය යැයි නොකියමි. ඈ මා 3 වැනි ශ්‍රේණියේ සිටියදී ඉගැන්වූ, මගේ ජීවිතයට හමුවූ 3 වැනි ගුරු මාතාවයි.

මීට වසර 15 කට පමණ ඇගේ මුහුණ සුන්දර කළ අපූරු සොඳුරු සිනාව තවමත් මා දුටු සැණින් ඇගේ මුවෙහි පහළ විය. ඈ වයසට ගොස් නැතැයි සිතට සතුටක් මෙන් ම අසීමිත ගුරු ගෞරවයක් ද හදවතේ කොටසක් වසා පැතිරී ගියේ ය. බස් රථය තුළ ම දණ ගසා වඳින්නට සිතෙයි. වරෙක සැහැසි වන සිත දැන් නම් නිස්කලංක වෙලා වගේ ය. නැවතත් බලමි. ඔව්! ඈ තවමත් එදා වගේම ය.

"දැන් කොහෙද වැඩ කරන්නේ?" ඈ අසන්නී ය.
- "......... එකේ මැඩම්"
"අර දවස්වල වෙන කොහේ හරි වැඩ කළා නේද පුතේ?" ඈ මේ අසන්නේ ගාමන්ට් ජීවිතය ගැන ය. ක්ෂණයකින් සිත් බිත මත හුරු පුරුදු සොඳුරු ගාමන්ට් සමාගමය ඇඳී මැකී යයි. ඒ මගේ පළමු වෘත්තිය ය. ඉඳ හිට හෝ ජීවිතය දෙස ආපසු හැරී බලන කල මඟ හැරී නොයන ලක්ෂ්‍යයකි ගාමන්ට් ජීවිතය.

ඇගේ පැනයෙන් 'හිත ගාව' ට තවත් ලිපියක් ලියන්නට අවැසි නිමිත්ත නිරායාසයෙන්ම ලැබුණි. එනම් මීළඟ ලිපිය සම්බන්ධ වන්නේ ගාමන්ට් ජීවිතයත් සමඟ ය.

"ඔයත් එක්ක වෙන කවුද හිටියේ?"
-... එහෙම හිටියෙ මැඩම්"
"ආහ්... ඔය කට්ටිය ම හරිම අහිංසක ටිකක් නේද?" යටි හිත උඩු හිතට එක පෙළට ටොකු අනී. ඈ කී අනෙකක්  සමඟ එකඟ වුවත් මේ නිගමනය සමඟ නම් කිසිසේත් ම එකඟ විය නොහැකි ය. ඒ මන්දයත්, මගේ වර්තමානයත්, අනෙක් උන්ගේ වර්තමානයත් දෙස බලන විට ඒ කියමන කොතෙක් දුරට සත්‍යක්දැයි නැවත වරක් සිතා බැලිය යුතු හෙයිනි.

"සුරා පොදක් මා තොළ ගෑ පමණින් සුරා සොඬෙකු වේදෝ...
ඈ අත ගෙන රැඟුමක් පෑ පමණින් මා සළෙලෙකු වේදෝ..."

සිත යළි යළිත් තර්ක කරන්නේ මගේ ඇතැම් වැරදි සාධාරණීකරණය කරන්නට ය.

3 වසරත්, මගේ ගුරු මෑණියනුත්, මිතුරු මිතුරියනුත් සිහි වෙයි. සැබෑවට ම එදා උන් අවිහිංසක ජීවිත අද වන විට ඇත්තට ම අවිහිංසක ද? ගෙවී ගිය වසර ගණනාව සමකාලීන අපට බොහෝ දේ අහිමි කර තිබේ. අනිත් අතට ඊටත් වඩා අප විසින් ම බොහෝ දේ අහිමි කරගෙන තිබේ. අහිමි වීමට වඩා අහිමි කර ගැනීම අතිශය දුක්බර දෙයක් බව දැනෙන්නේ දැන් ය.

අපට වඩා ඈ ආත්ම තෘප්තියක් ලබනු නිසැක ය. තමන්ගෙන් උගත් දහස් ගණනක් වූ දූ දරුවන් අද රටට ජාතියට වැඩදායී මිනිසුන් ලෙස සමාජය තුළ වැජඹෙන විට ඕ නිසැකවම සතුටු වනු ඇත. පාසැල් යන කාලයේදී ගුරුවරුන් ලබන ආත්ම තෘප්තිය ගැන නොදැනුණි. නමුත් ඒ තෘප්තිය දැනෙන්නේ තමන් ද එක් දිනක් හෝ දරුවෙකුට, දැරියකට ඉගැන්වූ දිනක ය. ඒ අතින් බලන කල එකී තෘප්තිය ලබන්නට තරම් මා වාසනාවන්තයෙක් වීමි.

හදිසියේම මට වෙනස්, සොඳුරු ගීතයක් මතක් විය. ඒ මොහොතේ 'ගුරු ගෞරව මානසිකත්වයක' සිටි මා හට මතක් විය යුත්තේ ගුරු උපහාර ගීතයක් යැයි ඔබද අනුමාන කරන්නට පිළිවන. නමුත් මගේ මතකයට ආවේ බොහෝ සොඳුරු නමුත් සරල පද මාලාවක් ඇති චරිතා ප්‍රියදර්ශනී නම් ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනියගේ හඬින් ගැයෙන "සීනුව වදින තුරා" නමැති ගීතය යි. ඒ ගීතය තුළ ගුරුවරුන් ස්වකීය ශිෂ්‍ය පරපුර කෙරේ තබා තිබෙන බලාපොරොත්තු, ස්වකීය යුතුකම සහ වගකීම නිසි ලෙස හඳුනා ගැනීම වැනි කාරණා ඇති බව අපට ඉතා හොඳින් වැටහෙයි.

සීනුව වදින තුරා
මුළු පාසැල් මිදුල පුරා
වැලි දූලි නාන දඟ පොඩි එවුන්ට
වේවැල් කසාය දෙන්නම්...

කවටකමට නොව මා
එහෙම කිව්වෙ ළමයෝ
ටිකක් දඟ වී
හුඟක් කැපවී
පාඩමේ යෙදෙමු
උදුරලා හෝ සොරා ගනු බෑ
අපි උගත් දේවල්...

සීනුව වදින තුරා...

අකුර අකුර ලියලා
පොතින් පොතද කියවා
පන්තියේදී කැකුළු පිපිලා
හෙට කුසුම් වේවී
නංගි මල්ලි අපට ඕනෑ
එහෙම හොඳ දරුවන්...

සීනුව වදින තුරා...

ඒ ගීතය ඔබට රිසි සේ දෙනෙත් පියාගෙන විඳින්නට ඉඩ දී මා නිහඬ වන්නම්. යළිත් ජීවිතයට තවත් ගීතයක් සමීප වූ හැටි, ගීතයක් හරහා තවත් ජීවිතයක් - මොහොතක් - එළිය වූ හැටි කතා කරමු. ඔබත් ලියන්න හිත ගාව ට. මේ සරල, නමුත් අතිශය සොඳුරු නවමු අත්දැකීම විඳගන්න.

Like us!
www.facebook.com/HithaGaawa

No comments:

Post a Comment