පුන්සිරි සොයිසා...
නම ඇහෙද්දි සිතින් මේ ලියුම්කරුවා වසර කිහිපයක් ආපස්සට ගමන් කරනවා. මතකෙට එනවා අතීශය සොඳුරු පාසැල් කාලය. එදත් අද වගේම මගේ සහ මගේ මිත්‍ර සමාගමයේ ජීවිතය වුණේ ගීතය. තාලය ඇල්ලුවේ ඩෙස්ක්, බංකුවලින්. ස්වර පුවරුව වුණේ මේ දෙතොල්. මයික්‍රොෆෝන නැති වුණත් සමහර වෙලාවට මේ සොඳුරු සංගීත සාජ්ජය නුදුරින් තිබුණු ප්‍රධාන කාර්යාලය ඇහිලා තිබුණා. ඒ වගේ වෙලාවට අපේ සාජ්ජය නැවතුණේ මුල් ගුරුතුමාගේ බැණුමකින්. ඒත් ඒ බැනුම දිහා පවා අපි බැලුවේ සොම්නස්සහගත සිතුවිල්ලකින්. සොඳුරුයි. අතිශය සොඳුරුයි.
ඒ වගේ ගීතයෙන් නිමා වුණු පාසැලේ කාලපරිච්ඡේද කීයක් නම් මතකයේ තියෙනවද...
ඒ කාලේ අපේ හිත්වල එක්තරා සොඳුරු කලාකරුවෙක්ගේ වෙනයම් විදිහකට කියනවා නම් කලා ලෝකයේ කතා බහ නොවන නිහඬ චරිතයක් ඇඳිලා තිබුණා. හැම සංගීත සුගායනයකදීම ඔහුගේ ගීතයක් අපි නොගැයුවේ නැති තරම්. පුන්සිරි... පුන්සිරි සොයිසා...
වසර බර ගාණකට කලින් සංගීත ක්ෂේත්‍රයට ආපු උඹව නූතන බටහිරවාදී යැයි කියාගන්නා අපිට ගොඩාක් දැනෙන ගායකයෙක් බව උඹවත් නොදන්නවා ඇති.
සත්තකින්ම, අපි උඹට ආදරෙයි... ඒ ගී හඬ ඇහෙන ඇහෙන වාරයක් පාසා අපිට උඹව දැනෙන්නෙ ඒ නිසාමයි.
-------------------
මේ හදිස්සියෙම පුන්සිරිව මතක් වුණේ අහම්බයකින් නම් නෙවෙයි. මේ කියන්න යන්නේ තවත් එක ආදර කතාවක්. නිකන්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. ආදරණීය ආදර කතාවක්.!
තවත් එක හමුවීමක් කාලයක් ළංවෙලා ඉඳලා, කාලයක් වෙන්වෙලා ඉඳපු හිත් දෙකක් සිතින් විතරක් නෙවෙයි. ශාරීරිකව්ත් ළං වුණාම දැනෙන හැඟීම් සමුදාය මේ ගීතයේ හරි අපූරුවට වචනවලට ගොනු කරලා තියෙනවා...
------
කාලයකට පස්සේ අපි මේ හමු වුණේ. මට තාමත් මතකයි එදා අපි ළං වුණු හැටි! ඒත්... ඒත් එදා නොදැනුණු සුවඳක් අද මට දැනෙනවා, ඔය ළැමැදෙන් කිරි සුවඳක්. නුඹ නොකිව්වාට මං දන්නවා එදා මං ළං වුණ යුවතිය අද පරිණත මවක් කියලා.
මේ හමුවීම, මේ ළංවීම මට පුදුමාකාර ආශ්වාදයක්. හරියට හිතට පිනි ඉහිනවා වගේ. ඒ හැඟීම ඇතුලෙන්ම මට අතීතය මැවිලා පෙනෙනවා. ඇත්තමයි. ඒක හිතට සැනසීමක්!
ඇත්ත! කාලාන්තරයකට කලින් ඔයාව මට අහිමි වෙලා ගියා. ඒත් ඔය මල් පෙතිවල සිනිඳු බව මං හොඳින් දන්නවා. ඔව්! ගොඩාක් දේවල්වලට අතීතයේ අපිට ඉඩ තිබුණා. සමහර දේවල් සිද්ධ වුණා. සමහර දේවල් සිද්ධ වුණේ නැහැ. අද අපි ඉන්නේ අන්ත දෙකක. මේ තාවකාලික නමුත් සොඳුරු හමුව සදාකාලික කරගන්න එක ප්‍රායෝගික නැහැ. මතක තියාගන්න... අතීතයේත්, මේ දැන් ගෙවෙන වර්තමානයේත් ඔයාගෙත්-මගෙත් රහස් මට හුරු පුරුදු ඔය ළැමැදේ හංගාගෙන රකින්න. මං ඔයාට හැමදාමත් ආදරෙයි.
"කිරි සුවඳක් මට දැනුණා ළැමැදෙන්
පිපුණු මලේ නුඹ ලඟ දැවටෙන සඳ
එදා දැනුණ සුව ළැමැදේ නොදැනෙන
ළඳුනි නුඹත් මව් පදවි ලබා ඇත...
කිරි සුවඳක් මට දැනුණා...
මුකුලිත කුසුමකි අතු අඟ පිපි මල
රොන් උරනා සඳ පිපි මල් පෙති මත
පිනි ඉහිරුණි දැයි මා සිත් උයනට
හදවත සැනසෙයි ඔබ දකිනා සඳ...
කිරි සුවඳක් මට දැනුණා...
මට අහිමිව ගිය නිල් මානෙල් මල
පෙති මත සුසිනිඳු බව මා හඳුනමි
රකිනු සොඳුර නුඹ ළැමැදේ සැඟවුණ
අප ගැන තොරතුරු සඟවා ලොවටම...
කිරි සුවඳක් මට දැනුණා..."
පද රචනය - ඩිලාන් නුවරපක්ෂ
සංගීතය - අසෝක පීරිස්
ගායනය - පුන්සිරි සොයිසා
--------------------
මේ ගීතය මට මුලින්ම අහන්න ලැබෙන්නේ මගේ මිත්‍ර සමාගමයේ හිටපු, අදටත් ඉන්න මං වගේ ම පුන්සිරිවාදියෙක්ගෙ ජංගම දුරකතනයෙන්. මේ ගීතයේ අර්ථය ගැන අපි හිනා වෙවී කතා කළා. ඒත් මට ඒ ගීතය මඟ හැරුණා. අවුරුදු ගාණක් හෙව්වා, අන්තර් ජාලය පීරලා හෙව්වා. ඒත් හමුවුණේ නැහැ. ඒ අතරේ මම අළුත් රැකියාවකට යනවා. ඒ ගියපු මුල්ම දවසෙත් මම සීඩී රාක්ක පුරා ඔහුව හෙව්වා. ඔහුගේ මේ ගීතය හෙව්වා. ඒත් නැහැ. දින ගණනාවක් ගත වුණා. අහම්බෙන් මට ඔහුව, ඔහුගේ මේ සොඳුරු ගීතය එක්ක හමු වුණා. ඔව්!
ඉතින් මේ ගීතයේ අර්ථය කතාබහ කිරීම උදෙසා වූ ඔබෙත් මගෙත් හමුවීම මෙතකින් නිමා වෙන්නෙ නැහැ. රැඳිලා ඉන්න හිත ගාව සොඳුරු ෆේස්බුක් පිටුවත් එක්ක. අපි ජීවිතයත් ගීතයත් ගැන කතා කරමු. පුන්සිරිගේ හඬින් ගැයෙන මේ සුභාවිත ගීතය අහන්න ඔබට ඇරැයුම් කරන ගමන් මම ඔබෙන් සමුගන්නම්... හමුවීමට වඩා වෙන්වීම අතිශය සොඳුරු බව මතක් කරමින් ම...
ගීතය මෙතැනින් අහන්න... http://www.youtube.com/watch?v=_b1cYHddN6o
Copy rights - හිත ගාව - 2013/05/28
No comments:
Post a Comment