Monday, June 10, 2013

නැත ලොවේ අන් රසඳුනා.. ආදරේ සේ සුවදෙනා...

මහැදුරු සරච්චන්ද්‍රයන් ආදරය දුටුවේ එහෙම ය. ආදරය සුව ගෙනදෙන්නාක් මෙන් විටෙක ශෝකය ද ගෙන එයි. කලාවේ දී ශෝකය ද රසයක් ම ය. නිර්මාණකරුවෝ විටෙක ඒ ශෝක රසය සොයා යති. ඒ ශෝක රසය තුළින් පාඨක සිත් ප්‍රකම්පනය කරති. නව යොවුන් ප්‍රේමය වූ කලී ගලායන නදී ප්‍රවාහයක් බඳු ය. විටෙක එය කුඩා දිය පාරකි. වරෙක එය ගලා හැලෙන දිය ඇල්ලකි. තවත් විටෙක ගල්පරවල හැපෙමින් වුවද සොඳුරු ලෙස ගලායයි. තවත් විටෙක එය ගම්බිම් වනසන මහා ගංවතුරකි. ප්‍රේමය ද එසේ ය. ආදරය, කරුණාව, මෛත්‍රිය පිරී ඉතිරුණු අමා ගඟක් සේ එය යෞවන හදවත් කිතිකවමින් ගලායයි. එහෙත් ඒ අතර කඳුළු, සුසුම් අප්‍රමාණ ය. අජන්තා රණසිංහයන් ගේ ‘බොල්වී අහුරු’ නැමැති ගී පදමාලාව ප්‍රේමයේ එක්තරා දුක්බර සුසුමක් ස්පර්ශ කළා වූ සංවේදී නිර්මාණයකි.

ගීතයට පසුබිම් වන්නේ නාගරීකරණය නොවූ ගැමි පරිසරයකි. ගැමි දරුවෝ වැලි කෙළියේ පටන් එකට හැදෙති, වැඩෙති. ඒ අතර තුර ඔවුන් අතර අතිශයින් සංවේදී ළෙන්ගතුකම් හටගනී. ඇතැම්විට ඒ ළෙන්ගතුකම් තාවකාලික ය. ඇතැම්විට සදාකාලික ය. එහෙත් මේ නිර්මාණයට පසුබිම් වූ ළෙන්ගතුකම වූ කලී ශෝකාන්තයකි.

ගීතය රචනා කළ අජන්තා රණසිංහයන් තම පදමාලාව ආරම්භයේ ම ඒ ශෝකාන්තය අපූර්වත්වයෙන් යුතුව සන්නිවේදනය කරයි.

”බොල් වී අහුරු වෙල් හුළඟේ
ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත්
නොකියාම .....

රචකයා මෙහි දී ජනකවි සම්ප්‍රදාය සුභාවිත ලෙස යොදා ගනී. ජනකවියා සෑම විට ම උපමාවන් සොයාගත්තේ ගැමි පරිසරයෙන් ම ය. මේ යෞවනයා ගේ බලාපොරොත්තු සිඳී බිඳී ගිය ආකාරය රචකයා උපමා කරන්නේ බැත යාල් කරද්දී, බොල් වී සියල්ල ම වෙල්යායේ සුළඟෙන් ඈතට ගසාගෙන යාමටයි.

එසේනම් ඔහුගේ ප්‍රාර්ථනා කිරිවැදී පීදී නොමැත. ප්‍රාර්ථනා බොල් වී ගොසිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු සිත්ගත් ගැමි තරුණිය ඔහුටත් නොකියා දීගෙක යාම නිසා ය. “මටවත් නොකියා ම” යන යෙදුම තුළින් ඔවුන් අතර දුරදිග ගිය ඇඟෑලුම්කමක් තිබූ බව සනිටුහන් වේ. ඔහු ගේ ශෝකය වැඩිදියුණු වන්නේ නොකියා ම ඇය දීගයක ගිය බැවිනි. ප්‍රේමයේ විප්‍රයෝගය යෞවන සිත් පාරවන ආකාරය, ශෝක රසය මතු කරමින් ඉදිරිපත් කිරීමට රණසිංහයෝ සමත් වෙති.

මේ සමඟ ම තරුණයාට සිහිපත් වන්නේ අමතක කළ නොහැකි ඔවුන්ගේ අතීතයයි. ඒ අතීතය ගොඩනැඟෙන්නේ අතිරමණීය වූ ගැමි පරිසරයක් තුළයි. ඔවුන් අතර ළෙන්ගතුකම් ගොඩනැඟුණු ගැමි පරිසරය සිතුවමක් සේ එක්වර ම ඔහුගේ මනසේ ඇඳෙයි.

දම්පැහැ කහට කජු පුහුලන්
පිපිකාලේ
රංචුව ගැසුණු හැටි මතකද
අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳ හිට
දුටු වේලේ
බැරි උනි කියාගන්නට
හිත බැඳි ආලේ

කජු ගස් යට රංචු ගැසුණු ළමා අවදියේ ම ඔහුගේ සිත ඇය වෙත ඇදී යයි. එය හිරිමල් වයසේ ඇතිවුණු ඇඟෑලුම්කමකි. එහෙත් ඇයව ඔහුට වඩා ඉක්මනින් ස්වභාවධර්මය තුළින් යෞවනියක බවට පත්කරයි. ඔහු දැන් ගැටවරයෙකි. ගැමි සමාජය තුළ තරුණියකට තම සිතැඟි ප්‍රකාශ කිරීම පහසු කටයුත්තක් නොවේ. තරුණයා ගැමි සංස්කෘතිය තුළින් හික්මුණු තරුණයෙකි. ගැමියන් විසින් ලැජ්ජාව, බය යන නමින් හඳුන්වන ගති ලක්ෂණ තුළින් තරුණයා පසුගාමී මානසිකත්වයකට පත් ව තිබේ. ඇය දැන් යෞවනියකි. වෙනදා මෙන් ඇය රංචු ගැසෙන්නට නොඑන්නී ය.

එම නිසා ඇය දකින්නට ලැබෙන්නේ ඉඳහිට ය. “මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ” නැමැති ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වේ. තරුණයාගේ පරාදීන මානසිකත්වය “බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ” නැමැති ප්‍රකාශයෙන් මනාව දැනුවත් වේ. අජන්තා රණසිංහයන් ගැමි ව්‍යවහාරික බස් වහර අව්‍යාජ ව හසුරවන්නට සමස්ත නිර්මාණයෙන් ම සමත් වී තිබේ. එසේම මේ ගැමි තරුණයා තුළ ඇතිවන පසුතැවිල්ල ගීත රචකයාගේ යෙදුම් තුළ මනාව කැටයම් වී තිබේ.

අජන්තා රණසිංහයන්ගේ පදමාලාවේ ගුණාත්මක ම අවදිය කරා එළඹෙන්නේ අවසානයේ දී ය. පරාජිත ප්‍රේමයේ අවසානය වෛරය නොවන බව රචකයා සමාජයට මැනැවින් සන්නිවේදනය කරයි. තමා ආදරය කළ තරුණිය වෙත අවෛරී ව කරුණාව යොමු කරන්නට තරම් උත්තම වූ සිතුවිලි රචකයා විසින් මේ තරුණයා ගේ සිතුවිලි වෙතට ආරෝපණය කරනු ලබයි.

නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ
මේ අපි ජාති ජාතිත් පැතු ලෙසයි නඟේ
පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ
අත මිට සරුව නුඹ යහතින් හිඳින් නඟේ

මෙය මොනතරම් බෝධිසත්ව ප්‍රාර්ථනාවක් ද? මේ සැබෑ ආදරය නොවේ නම් වෙන කුමක්ද? ආදරවන්තයන් මෙතරම් මෙත් සිත් ඇති පරිත්‍යාගශීලීන් වන්නේ නම් ලෝකය මොන තරම් සුන්දරද? අජන්තා රණසිංහයන් යෞවන සිත් තුළ රෝපණය කරන්නට උත්සාහ කරනුයේ බෝසත් සිතුවිලි ය.

”හුලවාලි” චිත්‍රපටයට ධර්මසිරි ගමගේ රචනා කළ ගීතයක කොටසක් මේ මොහොතේ මට සිහිපත් වෙයි.

”ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති හීනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී”

අජන්තා රණසිංහයන්ගේ පදමාලාව දශක කීපයක් පැරැණි පදමාලාවක් වුවද එහි වටිනාකම වර්ධනය වන්නේ වර්තමානයේයි. අද ජනමාධ්‍ය තුළින් හෙළිවන බොහෝ සිදුවීම් තුළින් පැහැදිලිවන්නේ පේ‍්‍රමයට ආසන්නයෙන් ම පවතින්නේ වෛරය බවයි. පළිගැනීම වීරත්වයෙන් සැලකෙන තාරුණ්‍යයක් වර්ධනය වන සලකුණු පහළ වෙමින් පවතී. ඒ නිසා මෙබඳු බෝසත් සිතුවිලි තාරුණ්‍යයට එන්නත් කිරීම ජාතික වගකීමක් බවට පත්වෙයි.

මේ ගීතයට මීළඟ සාධාරණය ඉටුවන්නේ සංගීතය හා ගායනය තුළිනි. මෙහි අන්තර්ගත ශෝක රසය මතු කිරීම සඳහා බටනලාව හා සිතාරයේ හඬ පණ්ඩිත් අමරදේවයෝ භාවිතා කරති. ගැමි පරිසරය කේන්ද්‍රිය කරගත් ශෝක රසයක් ඒ ඔස්සේ රසික මනසේ තැන්පත් වෙයි. එසේ ම ජනකවියක රිද්මය මුළු ගීතය පුරා ම අමරදේවයෝ හසුරවති. එසේ ම එතුමන් ගේ ළයාන්විත ශෝකී හඬ මුළු ගායනය පුරා රැඳී පවතී.

සැබෑ කලාකෘති ආනන්දයෙන් ප්‍රඥාව කරා රසිකයා ගෙන යන බව ප්‍රකට ප්‍රකාශයකි. මේ නිර්මාණයෙන් ලබාදෙන ප්‍රඥාව කුමක්ද? ඒ අනෙකක් නොව, ආදරයේ සැබෑ අරුත රසිකයාට අවබෝධ කරදීමයි. දයාබර හදවත් ඇත්තන්, සමාජයට දායාද කරවීමයි. දුර්වර්ණ වූ මිනිස් සිත ප්‍රභාෂ්වරය විහිදුවන ආකාරයෙන් බැබළවීමයි. ඒ නිසා මෙය සත්පුරුෂයන් ගේ සත් නිර්මාණයක් බවට පත්වෙයි. ගීත කෙතේ බොල් වී වපුරන ගායකයන්ටත්, ගීත රචකයන්ටත්, සිංහල ගීත කෙත පුරන් කරන්නට ඉඩනොදෙන, කිරිවැදී පීදුණු ගීත නිර්මාණයක් ලෙස “බොල් වී අහුරු” නැමැති ගීතය හඳුන්වා දිය හැකිවන්නේ එබැවිනි.

- ධම්මික බණ්ඩාර -

බොල් වී අහුරු වෙල් හුළඟේ
ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත්
නොකියාම
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුණු හැටි මතක ද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
බැරි උනි කියා ගන්නට හිත බැඳි ආලේ

නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ
මේ අපි ජාති ජාතිත් පැතු ලෙසයි නඟේ
පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ
අත මිට සරුව නුඹ යහතින් ඉඳින් නඟේ


ගී පද - අජන්තා රණසිංහ
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව

උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත

---------------------------------------------------------------

එන්න... මේ සුභාවිත ගීත හරහා තාරුණ්‍යෙය් සිතුම් පැතුම් වෙනස් කරන්නට කාලය යි.
හිත ගාව - (Hitha Gaawa)
www.fb.com/HithaGaawa

No comments:

Post a Comment