Tuesday, December 18, 2012

හීනෙක තනිකරලා - ඉරාජ් වීරරත්න ස්තූතියි ඔබට...



ඉරාජ් වීරරත්න නමැති සංගීතවේදියා ලාංකේය සංගීත රසිකයින් හඳුනා ගත්තේ වරෙක කලබලකාරී රැප් සංගීතය රට තුල වපුරවන්නට යත්න දරන හිතුවක්කාරයෙක් හැටියට ය. නමුත් බටහිර පන්නයට කන බොන හිතන පතන අතලොස්සක් වූ
 පොෂ් චරිතවලට නම් ඉරාජ් යනු මාර පොරක් ය. ඔවුන් ඉරාජ් ගෙන් අදටත් බලාපොරොත්තු වන්නේ රීමික්ස් ය. එසේත් නැත්නම් අර්ථයක් නැති සංගීත නිර්මාණයන් ය. එහෙත් ඉරාජ් නම් සංගීතවේදියා මෙතුවක් ආ ගමන දෙස බැලීමේදී පසුගිය වසර කිහිපයේ ඔහු අතින් නිර්මාණය වූ ගීත හරහා ඔහු මහා සමාජ විවරණයක් කරන බැව් දක්නට හැකි විය.

"කාඩ රජා, ගේමක් දීලා, සිත්තිමනීලා" වැනි ගීත හරහා ඔහු සමාජයේ මිනිසුන් සිතාමතාම අමතක කර දමන පැති ගීතයට ගෙන ආවේ ය. ඒ සැබෑවටම ඔහුගේ සිතෙහි උපන් වාණිජ පරමාර්ථයක් පමණක් නොව සමාජ වගකීමක් ඉටු කිරීමක් නම් අප අනිවාර්යයෙන්ම ඔහුට ස්තූතිවන්ත විය යුතු ය.

ඉරාජ් වීරරත්න රැප් නැති, කලබලකාරී ස්වභාවයක් නැති 'මතක මන්දිර' කරද්දී අප හදවතින්ම සතුටු වූයෙමු. ප්‍රිහාන්ගේ 'යායට පායනා' කරද්දී අප අතිශයින්ම සතුටු වූයෙමු.

ඒ අප පතන ඉරාජ් නම් ප්‍රතිභාපූර්ණ කලාකරුවා ය. තමන් ලද සංගීත ඥානයෙන් රසික ජනතාවගේ හිත් සුලු මොහොතකට හෝ සසල කරවන ගීතයක් නිර්මාණය කළ හැකි නම් ඔහු සැබෑ කලාකරුවෙකි. අද 'හිත ගාව' අප ඔහු නමින් මේ ලියන්නේ ඔහුගේ අලුත් සමාජ විවරණය - "හීනෙක තනිකරලා" ගීතය නිසා ය. එහෙව් නිර්මාණයක් ගැන කතා නොකර සිටීම ඔහුට කරන මදි පුංචි කමක් යැයි හැඟෙයි.

ගීතය ගැන විස්තර කළ යුතු නැත. ඒ අද වන විට බොහෝ දෙනෙක් ගීතය අසා ඇති නිසා ය.

අවසාන වශයෙන් ඉරාජ් ට කීමට දෙයක් ඉතිරිව ඇත.
"කල් පවතින්නේ කලාකරුවෙකු සමාජයට දායක කරන මෙවන් හොඳ නිර්මාණයන් මිස අන් කිසිදු නිර්මාණ නොවේ."

මෙවන් සුභාවිත නිර්මාණ කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා...! ස්තූතියි...
ජය වේවා...!

████████████████████████

දඟකාර දෙකොපුල් අතරේ
තනිවෙන්න හිතුණා ආයේ...
හසරැල්ල ඔය සුදු මුහුනේ
මැවෙනවා මගෙ හිත අයිනේ...
මාව හීනෙක තනිකරලා
යන්නට ඔබ ගිය දා...

තුරුලේම උන්නු කාලේ
මතකයත් කවියක් වාගේ
ලස්සනයි නේද රත්තරං මගේ...
ඔබ ගිහින් දුරු කතරක විඳි දුක ගැන සිතා
මගෙ හිතේ ගිනි කඳුළු වෙලා...

අන්ධකාරයේ ඔය දෙනෙතම මං හොයලා
ආදරේ පද වැල් කඳුළක අමුණලා...
පුංචි ඔය ඇස්වලින් මට නොකියූ කතා
අහන් ඉන්න ආසයි තව ලං වෙලා...

·································································

පද රචනය : තිවංක ලක්මාල්
සංගීතය : ඉරාජ් වීරරත්න
ගායනය : ඉරාජ් වීරරත්න, තිවංක ලක්මාල්, දේවාශ්‍රී



Friday, December 7, 2012

කුමරි බඹසර - නන්දා මාලිනී


මේ හඬට, මේ පද මාලාවට ඇඟ කිලිපොලා නොයයි නම් ලේ රත් නොවෙයි නම් ඒක පුදුම විය යුතු කරුණක්. ඒ තරමටම නන්දා මාලිනිය ගයන මේ ගීතය අපේ හදවත් කම්පා කරවන සුලු ගීතයක්.

"කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට
 බිලි දෙමි...
බිලි ගනින් මා බිලි ගනින්...
කුමරි බඹසර බිලි ගනින්..."

මේ යුවතියගේ, කන්‍යාවියගේ හඬ තුල ගැබ්ව ඇත්තේ හුදෙක්ම දුක් වේදනාවක් පමණකැයි කිසිවෙකුට කියන්න බැහැ. හේතුව මේ පද මාලාව හරහා මේ අසරණ යුවතිය ධනපති පන්තියේ සල්ලාලකම, වනචාරීකම ගැන කේන්තියෙන් සහ ආත්ම අනුකම්පාවකිනුයි කතා කරන්නෙ.

ඇය යන්නෙ රැකියාවක් සොයාගෙන. ඔව්! ඇයට සියලු අධ්‍යාපන සුදුසුකම් තිබෙනවා. නමුත් අධ්‍යාපන සුදුසුකම් වලට වඩා යමක් ඇයගෙන් හාම්පුතා බලාපොරොත්තු වෙනවා.

කුමරි බඹසර...

යුවතියකගේ පාරිශුද්ධත්වය, කන්‍යාභාවය කියන්නෙ සාම්ප්‍රදායික සමාජයේ තරුණියකගේ 'හොඳ හෝ නරක' පෙන්වන දර්ශකයක්. අනෙක් අතට එය යුවතියකට අභිමානයක් මෙන්ම වටිනාකමක් ගෙනෙන දෙයක්. ඒ නිසාම යුවතියකට එය සම්පතක්. මංගල රැයේ දුක හෝ සතුට තීරණය කරන නිර්ණායකයක්.

මේ හාම්පුතා ඇගෙන් ඉල්ලන්නෙ එහෙව් වටිනාකමක් තිබෙන යමක්. ඇය ශාප කරන්නෙ සමස්ත ධනපති පන්තියේ සල්ලාල හාම්පුතුන්ට. අධ්‍යාපන සහතික වලට එහා ගිය යමක් යුවතියකගෙන් පතන හාම්පුතුන් ආයතන ප්‍රධානීන් ගැන අප කොතෙකුත් අසා තිබෙනවා.
"ලිංගික අල්ලස් ගැනීම"... අපට නුහුරු වචනයක් නෙවෙයි.

මේ ගීතය හරහා නන්දා මාලිනිය ගයන්නෙත් ලිංගික අල්ලස් ගැනීමක් ගැන තමයි. මේ ගීතයේ පද රචකයා බොහෝ දුරට මහාචාර්ය සුනිල් ආරුයරත්නයන් විය යුතුයි. නන්දා මාලිනියගේ තියුණු හඬටවඩාත් ගැලපෙන ලෙස රෝහණ වීරසිංහයන් සංගීතය නිර්මාණය කොට තිබෙනවා.

මොහොතකට මට මෙහෙම හිතෙනවා. මේ ගීතයේ කතානායිකාව මේ කෑ ගසා කියන්නෙ ඇයට මේ සමාජයේ ඇතැම් ස්ථර එක්ක තියෙන වෛරය ගැන. ඒක සාධාරණයි. නිකමට අපි හිතමු ඇය දුප්පත් විශ්ව විද්‍යාල උපාධිධාරිනියක් කියලා.

හොඳින් ගීතය අහලා මොහොතක් හිතලා බලන්න. ඔබටම තේරේවි ඒ දුක, වේදනාව...

████████████████████████

කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට බිලි දෙමි...
බිලි ගනින් මා බිලි ගනින්
කුමරි බඹසර බිලි ගනින්...

ශිල්ප සඳහා ලැබූ සහතික
හදේ ගින්නෙන් දවමි තොප ලඟ...
මුදල් අගයන තොපේ ලොවකට
උගත්කම් ගුණ දහම් කුමටද...

තොපට බිලි වී තොපෙන් සුරැකී...
කාණු පල්ලේ පලි ගසන්නෙමි
දිනෙක තොපගේ ලොවම බිලි ගෙන
අපේ ලෝකය ගොඩනඟන්නෙමි...
·································································
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : නන්දා මාලිනී