Monday, June 10, 2013

ඔබ තරම් - තීක්ෂණ අනුරාධ

මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්...
"සුභාවිත ගීත" ලෙස ලේබල්කරණය කරන්න හැකි වෙන්නේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත විතරද?
එතකොට නව පරපුරේ ගීත කුණු ගොඩවල්ද?
පොඩ්ඩක් හිතලා බලලා පිළිතුරක් දෙන්න. ඔබ පිළිතුර දෙනකං මං ඔබට නව පරපුරේ සුභාවිත ගීතයක් ගැන මතක් කරලා දෙන්නම්.

ඔබට මතක ඇති 2000 වසරෙන් පස්සේ ලංකාවේ සංගීතය රැප් වුණු හැටි. රේඩියෝවක් දැම්මොත් කන පිරෙන්න කසි කබල් අරුත් සුන් සිංදු අහන්න පුළුවන් වුණා.
ඒත් මගේ මතකය නිවැරදි නම් 2008 වසරේදි එක්තරා ගී පද රචකයෙක් සහ සංගීතඥයෙක් එකතුවෙලා එතෙක් තරුණ පරපුරේ සංගීතය ගියපු පාර වෙනතකට යොමු කරනවා. ඔවුන් දෙදෙනා නමින් 'ඩිලාන් ගමගේ' සහ 'රදීශ් වැන්දබෝනා'.

'දුන්නු වේදනා, වෙන්වී දැන් යන්න ඉතින්, ඔබ තරම්, අනුරාගිනී, මේ ඇස් දිහා බලන්, අහන්න අදරේ තරම්, පෙම් පාට වෙලා, මනමාලකම්, ලන් ලන් වෙලා, ලඟ ඉන්න පැතුවාට, සිහින හොරා' වගේ නව පරපුරේ සුභාවිත ගීත - අර්ථයක් ඇති ගීත - ගණනාවක් නිර්මාණය වෙන්නේ මේ කලාකරුවන් දෙන්නගේ අතින්.

කොහොම වුණත් බොහොම කෙටි කාලයක් ඇතුළෙ මේ ශිපීන් දෙන්නම බොහොම ජනප්‍රිය වෙනවා. අද 'හිත ගාව' තුළින් කතා කරන්න යන්නේ ඉහත සඳහන් කරපු ගීත කුළකයෙන් "ඔබ තරම්' ගීතය නිර්මාණය වුණු හැටි ගැන.

ආදරේ කියන්නේ මහ පුදුමාකාර හැඟීමක්. කොහෙදි කොතැනකදි කාට කවුරු ගැන ආදරේ හිතෙයිද කියලා කවුද දන්නේ. සමහර විට කවුරු හරි අපිට ආදරේ කරනකොට ඒ ආදරේ අපට නොපෙනෙන්න ඉඩ තියෙනවා. ඒ ආදරේ ගණන් නොගෙන ඉන්න ඉඩ තියෙනවා. ඒත් කාලෙකට පස්සේ ඒ ආදරේ තරම දැනෙනකොට වෙන්න ඕන ටික වෙලා ඉවරයි. එහෙම නේද? ඔබටත් එහෙම අත්දැකීම් තියෙනවා නම් ඩිලාන් ලියලා, රදීශ් සංගීතවත් කරලා, තීක්ෂණ අනුරාධ මේ ගීතය ගයන්නේ ඔබටම තමයි.

කාලයකට ඉහත ඩිලාන්ට එක්තරා තරුණියක් ආදරේ කරනවා. අපි හිතමු ඇය ඔහුගේ සමීපතම යෙහෙළියක් කියල. ඒත් ඩිලාන්ට ඒ ආදරේ තේරුම් ගන්න තරම් හිතේ වුවමනාවක් තියෙන්නෙ නැහැ. සමහර වෙලාවට ඔහු ඒ ආදරේ තමන්ගෙ ජීවිතේට කරදරයක් කියලා හිතනවා. අඩුම තරමේ අවාසනාවට ඩිලාන්ට ඒ තරුණියගේ ආදරේ පොඩ්ඩක්වත් තේරුම් ගන්න බැරි වෙනව.

කාලයක් ගත වෙනවා. ඒ තරුණිය විදේශගත වෙනවා. ඔබට හිතෙයි ඒක බොහොම සාමාන්‍ය සිදුවීමක් කියලා. නැහැ. ඒ තරුණියගේ නික්ම යාම කවදාවත් ඇය ගැන ආදරයක් නොහිතුණු ඩිලාන්ට තදින්ම දැනෙන්න පටන් ගන්නවා. මෙච්චර කාලයක් තමන්ගේ ලඟටම වෙලා හිටපු, තමන්ගෙ අකමැත්ත ගැනවත් නොහිතා තමන්ට ආදරේ කරපු ඒ තරුණිය ලඟ නැහැ කියල දැනෙනකොට ඔහුට දරාගන්න බැරි තරම් දුකක් තනිකමක් දැනෙනවා.

ඒ හැඟීම ඔහු අකුරු බවට පත් කරනවා.

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වි ගිය දා
ඔය නෙතු හැඬ වූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ... මේ තරම් ආදරේ...

කාලයකට පස්සේ අපේ තරුණ පරපුර අර්ථයක් තියෙන නව පරපුරේ ගීතයක් ඒ හරහා රසවිඳිනවා.

---------------------------
ඩිලාන්, රදීශ්, තීක්ෂණ - ස්තූති ඔබ තිදෙනාට! වර්තමාන ගීත කලාව නව මඟකට යොමු කළාට!

Like us! හිත ගාව - (Hitha Gaawa)

No comments:

Post a Comment