♬ විනේ කටින උන් - ප්‍රදීපා ධර්මදාස
(වරෙව් මහතුනේ කුණුකය වළදන්න)
මෙම ගීතය උත්තම පුරුෂයෙන් කෙරෙන ප්‍රකාශනයක්. ඇය ගැහැණියක්. නිකං නෙමෙයි ස්වාමියා මිය ගිය දරුවන් කිහිප දෙනෙකු ඉන්න දුප්පත් ගැමි ගැහැණියක්. ස්වාමියා ඉතා ගුණ ගරුක පුද්ගලයෙක්. නමුත් ඔහු ඉතිරි කර ගියේ ඒ හොද නමම පමණයි. දරුවන්ව ජීවත් කරවන්න ඒ හොද නම පමණක් ප්‍රමාණවත් නැහැ. මුදල් අවශ්‍යයි. එතනදි ඇය තම ජීවනෝපාය ලෙස වෛශ්‍යා වෘත්තිය තෝරා ගන්නවා. නමුත් සංස්කෘතික සදාචාරයේ ගිලී සිටිනා සාම්ප්‍රදායික ගැහැණු මිනිසුන් එය කොන්දේසි විරහිතව විවේචනය කරනවා. එවිට ඇය ඇගේ ප්‍රකාශය මෙසේ කරනවා...
සදාචාරය හොයන , කබල් ගාන උන් (විනේ කටින උන්) මූණට තරහක් නොකියා හරි සුන්දර කතා කියනවා. මැරිච්ච මිනිහගෙ හොද නාමෙ අරක්ෂා කරගෙන ඉන්ඩලු. ඒවා හරියට කනේ කොහොඹ මිරිකනවා වගේ මිහිරියි. මමත් කැමතියි එහෙම ඉන්ඩ. ඒත් තුවාලය නැති උන් ඒ තුවාලේ වේදනාව දන්නෙ කොහොමද. (වනේ නැතිව උන් දුක දන්නේ කෝම...?)
තවදුරටත් ඉදිරියට යමින් ඇය ඉදිරිපත් කරන අදහස ඉතා හාස්‍ය ජනකයි. එය ලාංකීය නාම්මාත්‍රික සදාචාරවාදී වැඩිහිටි පරපුරට ගසන කමුල් පහරක් වැනියි.
තරුණ ළදක් වුවත් මං දිහා ගමේ ඉලංදාරි ඇහැක් ඇරලා බලන්නෙ නැහැ. උන් කරබාගෙන හිටියට මොකද විසේ ඉහට නැග්ග නාකි ටික රෑට මයෙ ගෙදර පිල උඩ. උන්ල ළග සල්ලි තියෙනවා. ඉදා නෙලා ගනින් කියලා උන් ඒවා පුදනවා. නමුත් නෙලා ගන්ට නිකං බෑ. රෙද්ද ගලවන්න ඕන. මිනිහ මතක් වෙද්දි සංස්කෘතික සීමාවන් මතක් වෙද්දි ඒක කරන්නත් බැහැ. හැබැයි දරුවන්ව ජීවත් කරන්නත් ඕන.
ඉනේ රෙද්දමයි හිටියේ පරහාට...කියල ඇය කියන්නෙ ඒ හිතේ තියෙන දෙගිඩියාව. ඊළග කොටසින් ඈ කරන ප්‍රකාශය අතිශයින් කම්පා සහගතයි. එලෙසම හැගීම්බරයි. බලන්න
මං කරන වැඩේ නරකයි කියන්න ගොඩක් අය ඉන්නවා. මගේ ළැමේ කිරට අඩන පැටවුන්ට අනේ වේලක් කන්න දෙන්න ඉන්නෙ කවුද..? ලිපේ ගිනි අවුලන්න ඕන දරුවන්ට කන්න දෙන්න. එහෙනම් මට මේක කරන්නත් ඕන. මහත්වරුනේ වරෙව්. ඇවිත් මගේ මේ කුණු කය වළදාපියව්.... (වරෙව් මහතුනේ කුණුකය වළදන්න)
අවසන් ප්‍රකාශයෙන් ඇගේ ආත්මානුකම්පාව පෙන්නුම් කරයි. සැමියා අහිමි දුප්පත් ගැහැණීයකගේ අසරණ භාවයද එවැනි ගැහැණුන් දෙස සමාජය බලන ආකාරයද සමාජයේ පවතින අවජාත සදාචාරවත් බවේ යතාර්ථයද හෙලි පෙහෙලි කල මෙම ගීතය ප්‍රදීපා ධර්මදාස විසින් කදුළු තොටුපල කියන ගීත ඇල්බමයට ගායනා කරන ලද්දක්. එහි පද රචනය වසන්ත පුෂ්ප කුමාර ගේ. සංගීතය රෝහණ වීරසිංහගේ.
✍ සටහන - සමන් එදිරිමුණී
✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜
විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්...
වනේ නැතිව උන් දුක දන්නේ කෝම...?
ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
නෙලා ගනින් යැයි කප්රැක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට....
ළැමේ කිරට මුර ගහනා පැටියන්ට
අනේ කවුද ඉන්නෙ වෙලක් දෙන්ට
ලිපේ ගින්නේ තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණුකය වළදන්ට....
ගායනය - ප්‍රදීපා ධර්මදාස
පද රචනය - වසන්ත පුෂ්පකුමාර
තනුව - රෝහණ වීරසිංහ
✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜
එන්න සුභාවිත සිංහල ගීතයේ රසය විදින්න...
හිත ගාව - (Hitha Gaawa)
Like us! Share us!
www.fb.com/HithaGaawa
No comments:
Post a Comment