Monday, June 10, 2013

සුවඳ දෙන මල් වනේ - රූකාන්ත

අද කතා කරන්න හදන්නෙ තවත් එක සුවිශේෂී ගීතයක් ගැන. සංගීතය ඉගෙන ගනිද්දි ඔබත් අහලා ඇති 'ගාන සමය' ගැන. එහෙමත් නැත්නම් කිසියම් ගීතයක්/රාගයක් ගායනා කිරීමට සුදුසුම වේලාව ගැන. මම විශ්වාස කරන විදිහට නම් මේ ගීතය අහන්න වගේම ගයන්නත් හොඳම වෙලාව තමයි අඳුර ගලා එන, පුර හඳ පායන රාත්‍රිය. ඔබත් හිතින් මවා ගන්න එහෙම රාත්‍රියක්.

වෙන්වීම කියන්නෙ හිතකට හිතන්න ගොඩාක් දේවල් ඉතිරි කරන දෙයක්. පණ තියෙන මිනිස්සු ආදරේදි හදවතින් වෙන්වෙනවා. ඒ වගේම භෞතිකවත් වෙන්වෙනවා. මේ කතා කරන්නෙ භෞතිකව වෙන් වීමක් ගැන.

තමන්ගෙ සැමියා මිය ගිය බිරිඳකට දැනෙන දුක සහ හැඟීම් ගැන අපිට පිටස්තරයෝ විදිහට සාධාරණ නිගමනයකට එන්න බෑ. ඒත් අපි දන්නවා ඒවා ගොඩාක් දුක හිතෙන සිතුවිලි කියලා.

"මේ නුරා සැඳෑ සමේ සෝ සුසුම් හෙලා..."

සරලවම කියනවා නම් අනුරාගය හරිම මිහිරියි. ඒත් වියෝ වීමක් එක්ක ගෑවුණු අනුරාගය අතිශය වේදනාකාරීයි. සමහරවිට ඒක සැමියා මිය ගිය කාන්තාවකට දැනෙන හැටි ගැන අපිට හිතාගන්නවත් බෑ. සැමියා ගැන හිතේ තියෙන ආදරයත්, අනුරාගයත් එකට එකතු වුණාම ඒක අතිශය ප්‍රබල විදිහට හදවත පසාරු කරන, රිද්දන හැඟීමක් බවට පත් වෙනවා. මඳ අඳුර පවා යලි යලිත් අත වනන්නෙ ඒ වගේ සිතුවිලි වලටමයි.

------
ඇය ඈත අහසේ තාරකා දිහා බලාන ඉන්නවා. සිත සහ ගත හොයන්නෙ තමන්ගෙන් වියෝ වුණු සැමියාව. ආයෙත් කවදා තමන්ව හොයාගෙන සැමියා ඒවිද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් වෙනුවට ලැබෙන්නෙ ඉකි බිඳුමක්, හැඬුමක්!

"සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා...
ඔබේ ළමැඳේ සෙනේ මැඳුරේ සුසුම් නැඟිලා..."

----------------------------------------------------
මේ ගීතයේ අර්ථය තරමක් විවාද සම්පන්නයි. සමහර විට මේ ගීතයේ කතානායකයා අර මුලින් කී කාන්තාවගෙ වර්තමාන සැමියා වෙන්න පුළුවන්. මොකද මේ ගීතයේ අග බාගය පුරාවටම කතානායකයා තමන්ගෙ වචන මෙහෙයවන්නෙ ඇයට ලෝකයේ අනිත්‍ය ගැන කියලා සනසවන්න.

ඔබ පොඩ්ඩක් හිතලා බලලා රස විඳින්න අදහස් පල කරන්න...!

████████████████████████

සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා...
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
ඔබේ ළමැඳේ සෙනේ මැඳුරේ සුසුම් නැඟිලා
සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා...
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා

මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තාරකා දිහා නිල් නුවන් යොමා...
ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා...
නෑ පලේ තැවී හඬා වේදනා දරා
වේදනා දරා...

මේ ලොවේ දිනූ අපේ ජීවිතේ කෙටියි
කාලයේ රහස් වසා ජීවිතේ ගලයි...
මේ කුලුත් පියාසලා කුලින් කුලේ රැඳෙයි...
ආදරේ අමා හැඟුම් මා සිතේ නැඟෙයි
මා සිතේ නැඟෙයි...

·································································
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය සහ ගායනය : රූකාන්ත ගුණතිලක

1 comment:

  1. රචකයාගේ අදහස හැරගිය පෙම්වතා ගැන සුසුම් හෙලන තම මිතුරිය අස්වැසීමත් ඇයට ආලය ප්‍රකාශ කිරීමත් බව විටෙක හැඟේ. කාලයේ පෙරලිය ගිරි කුළු, ජීවිතය සහ ආලය ඇසුරින් අවස්ථානුචිතව ගලපා ඇති අන්දම අපූරුය.

    ReplyDelete