ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුව
ප්‍රථම - පළමු - පළවැනි හැමදේම අපූර්ව දෙයක් විදියට සලකන්නට මනුෂ්‍යත්වය අපට පුරුදු කරවා ඇත. හැමදේකින් ම ප්‍රථමයා වන්නට අප බොහොමත් කැමැති ය.
ප්‍රථමයා ලකුණු සියයක් ලබා හිනා සෙනවිට අන්තිමයා ‘ඕඩ්ඩා’ ලෙස සරදම් ලබා හඬා වැටෙයි.
ජිවිතය නමැති තක්සලාවේදී ද අපට මේ පාඩම් - දඬුවම් හරි හරියට ලැබෙන්නේ ය. ජීවිතයේ ප්‍රථම වරට අපට ආදරයේ නියාමය කියා දෙන්නේ තාත්තා ය. අම්මා ඒ ආදරය ප්‍රායෝගික කරන්නීය.
ක්‍රම ක්‍රමයෙන් යොවුන් වියට එළැඹෙන විට අම්මාගේ - තාත්තාගේ - ආච්චිලා සීයලාගේ - අයියා අක්කලාගේ ආදරය බිංදුවට බස්සමින් කවුදෝ කෙනෙක් ‘දේවතා එළියක්’ අරගෙන එයි. මේ අමුත්තා හෝ අමුත්තිය දුරස්ථ කෙනකු ලෙස නොපෙනෙයි.
සංසාරේ කොහේදී හෝ හමුවෙලා ඇති බවක් ම පෙනෙයි. ඔහු හෝ ඇය ඒ ගෙනෙන්නේ ආදරයේ දේවතා එළියයි! ඉක්බිති...
ඒ ප්‍රේමයට ලකුණු සියය ගත්තෝ දිනති. ලකුණු බිංදුව ගත්තෝ ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුවත් අරගෙන එකම බෝට්ටුවකට ගොඩවෙති.
මේ ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුව කෙතරම් බරද කිව්වොත් මියෙන තුරාම එය බිම තැබෙන්නේ නැත. නමුත් මේ කඳුළු බිංදුව ට හැබෑ වටිනාකමක් දී ජීවිතය ජය ගැනීමට පන්නරය ලබා ගත්තෝ නම් බොහොමය.
ඒ නිසා ම ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුව අති සුන්දර වටිනා දෙයකි. ඒ නිසා ම එය කවියන්ගේ ගීත රචකයන්ගේ නොසිඳෙන - නොසන්සිඳෙන පන්හිදවලට ඇතුළු වී රදා උල්පත් මවා පාදා දී සිත්සතන් ආලෝලනය කරවයි. ලෝකයම සුන්දර තැනක් කරවයි.
නින්ද නැති රැයේ
සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද
ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී
නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි
රෝස පෙති කඩා හැලේ
කිළිපොළා සැලී යමින්
නොහිටි සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා
ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ
සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී
යා යුතුව තිබේ
රැය ගෙවේ සඳත් නිවේ
දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ
පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා
මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි
සොඳුර ඒ මගේ
පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය, ගායනය - විශාරද ගුණදාස කපුගේ
මේ ද ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුවකි. ප්‍රේමය යනු හුදෙක් හැඟීමක් මිස ක්‍රියාවක් නොවේ යැයි මට සිතෙයි. ප්‍රේමය ඉබේ හටගන්නවා මිස හටගන්වන්ට බැරි නිසා ය. ක්‍රියාත්මකවීම් සිදුවන්නේ පසුව ය. මුලින් ම හැඟීම ය. ‘ප්‍රේමතෝ ජායතී සොකෝ’ එය නිර්මල බුද්ධ වචනයයි. ප්‍රේමය නිසා ශෝකය උපදී. මේ ප්‍රේමය සම්මත ද අසම්මත ද යන්න ප්‍රේමයට අදාළ නැත. ඒ මුලින් ම හැඟීම ද බැඳීම ද පමණක් ඇතිවන නිසා ය.
නමුත් ප්‍රේමය අසම්මත වූ විට දෙන ශෝකය තවත් තීව්‍ර වෙයි. ඒ එහි ස්වභාවයයි. නින්ද නැති රාත්‍රියේ සඳ හඬයි. ඒ කඳුළු මීදුමක් හදයි. ප්‍රථම ප්‍රේමය හඬා වැටෙයි. කඳුළු මීදුම නිසා සදේ එළිය පෙනෙන්නේ නැත. පෙනෙන්නේ තරු එළියක් විතර ය. ඒ තරුත් දියට වැටී තාරකා නිල් එළිය ද නිවී යයි.
කඳුළු බිංදු වැහි බිංදු වී කඩා වැටෙයි. රෝස පෙති කඩා හැලෙයි. ප්‍රථම ප්‍රේමයේ කඳුළින් දෙතොල් තෙමී යයි. ජීවිතයේ හුදෙකලා පාළු තනිකම් සීතල ඔබේ උණුසුමට පවරා දී රාත්‍රියට සිහින දකින්නට ඉඩ හරිමි. හෙට උදේ ම අවදි වී මා යා යුතුමය. ඒ මට රැඳීමට අයිතියක් නැති හෙයිනි.
මේ ප්‍රේමයේ අසම්මත ස්වභාවයක ඉඟිය රචකයා අපට පහදන්නේ ඒ පදයෙනි. රාත්‍රියට ළං වී උදෑසනේ දී නික්ම යන සිහිනයක ගැලී සොයාගත හැකි තිර සතුටක් නම් නැත්තේ ය. මේ හිමි නොවීම තුළ ඇතිවන ‘බන්ධනය’ දැඩි නිසා ම හමුවන්නට බැරිවීම තුළ ඇති ‘වේදනා දණ්ඩනය’ ද වැඩිවෙයි.
රෑ ගෙවී යයි. සඳත් නිවී යයි. ජීවිතේ දුරස්වෙයි. හංසයා සිය තුඬු පියුම් කැකුළත ගටා පියුම් පුබුදුවන්නාසේ මම ජීවිතයේ දුක් කම්කටොලු වියවුල් නමැති කටු පොකුර සිප මලක් පුබුදුවමි. මේ මගේ එකම හාදුව ය. ප්‍රථම හාදුවය. අලුත්ම හාදුව ය.
ප්‍රේමය පිළිබඳ මනරංජන සිතුවමක් මැවූ මේ ගීතයේ නිර්මාපක රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගැන පැවසුවේ මෙයයි. “මේ ගීතය මා මුල් ම කාලයේ ලියූ ගීතයක්. අසූ තුනේ විතර කාලෙදි... ප්‍රේමයේ ශෝකය දනවන විදියට ලියැවුණු එම ගීය මා නම් කළේ ‘ප්‍රථම ප්‍රේම සිහිනය’ නමින්. අවසානයට එන පදවල එන ‘කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ’ කියා කොටස ඇත්තටම මගේ ‘වස්සානේ’ කෘතියේ මා ලියූ ‘කටු පොකුර - සිපගතිමි හෙට මලක් වනු පිණිස’ කියන අරුතමයි ඇතුළත් කළේ... ගීතය සංගීතවත් කොට ගැයුවේ විශාරද ගුණදාස කපුගේ ශූරීන් ය.
ඉතින්... ජීවිතයේ දුක්කම්කටොලු දරිද්‍රතාව කලාකරුවන් ආදරයෙන් සිපගත්තේ ජීවිතය ජය ගැනීමේ බලාපොරොත්තුවෙනි. මල් නැති කටු පඳුරු මත හාදූවක් තබන්නේ හෙට දවසේ මලක් පූදීවා යන ප්‍රාර්ථනයෙන් නිසාම ඒ මල්වල සුවඳ අපට ද ජීවිතය මේ යැයි හදවත පතුලටම දනවන්නේ ය.
- යමුනා මාලිනි පෙරේරා -
No comments:
Post a Comment