Thursday, June 20, 2013

නිල් මහනෙල් බරයි කියා - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

ටාගර්ට් එක, පැකිං ලිස්ට් එක, ෂිප්මන්ට් එක, ගේට් පාස්, අයන්, හැඟර්ස්, බොයිලර්ස් මත ජීවිතය දියාරු වී ගිය සත් මසක් මතකයේ සදා නොමැකෙන ඉසව්වක වාඩිලාගෙන සිටී. මානසිකවත්, ශාරීරිකවත් මා විඩාපත් කළ එසමය ගැන දැනුදු හරි ආදරණීයව බලන්නට සිත මට ඇරයුම් කරන්නේ එදවස සිතට තදින්ම බැඳුණු සොඳුරු හිත මිතුරු සමාගමය නිසා ය. එය මා දෛවයේ ලියා තිබූ දෙයක් බව මා විශ්වාස කරමි.

ගාමන්ට් ජීවිතයේ හැටි එහෙම ය. සිනිඳු රෙදි මත කුරිරුව එහෙ මෙහෙ යන ඉදි කට්ටකට ඒ සොඳුරු ජීවිත කිසිවෙකු උපමා කරනවාට මා කැමති නැත. ඔවුන් ද මිනිසුන් ය. ඔවුන්ට ද ආදරය ගැන, ජීවිතය ගැන ඔබට මෙන්ම සොඳුරු අර්ථකතන තිබේ. ඔබට තිබෙනවාට වඩා යහපත්, අහිංසක බලාපොරොත්තු ද තිබේ. නමුත් මෙතැන ඇත්තේ අධ්‍යාපනය සහ පන්තිය පිළිබඳ ප්‍රශ්නයකි.

ගාමන්ට් යන ගම් ගෙදරක ගැහැණු දැරියක් දෙස ඊනියා සුචරිතවාදී, ශික්ෂාකාමී 'මහත්තුරුන්, නෝනා මහත්තුරුන්' බලන්නේ වපර ඇහෙනි. "ඕකි විච්චූරන ඇඳුම් ඇඳගෙන ගිහින් නටනවා ඇති එක එකත් එක්ක."
එක ලිඳකින් වතුර බී පිපාසයට නොව කෑදරකමට වෙනත් ළිං වලින් වතුර බොන ප්‍රතිපත්තිගරුක මහත්තුරු, පත්තිනි අම්මාට වඩා පති වෘතය පුරන බවට ශපථ කරන නෝනා මහත්තුරු කියන්නේ එහෙම ය. පැය අටක් පුරා කුණු බැණුම් අසා, ගත දහඩිය කඳුළු වගුරුවා රෑ බෝවී ගෙදර එන ගාමන්ට් යුවතිය ගමේ සල්ලාල සිතැත්තන්ට 'ගාමන්ට් කෑල්ලකි'.

බසයක යන විට කුඩා ගමන් මල්ලක් ගෙන විටෙක නූල් බැඳුණු වරලසින් යුතුව බසයට ගොඩවන ගාමන්ට් ටුවතිය දෙස ඇතැම් විධායක නිළධාරීන් පමණක් නොව උසස් යැයි සම්මත රැකියා කරනවා යැයි සමාජය විසින් උලුප්පා දක්වන මිස්ලා බලන්නේ වෙනමම බැල්මකිනි. මා මේ කියන්නේ අතිශයෝක්තියක්ද? ඔබ ඔබේම හදවතින් අසා බලන්න.

සත් මසක් පුරා මා ගාමන්ට් ජීවිතයේ බොහෝ සියුම් තැන් ස්පර්ශ කළෙමි. වරෙක නෙතට කඳුළක් ගෙනෙන අවස්ථාවන් වැඩි පුර තිබුණු බව අදටත් මා සිහිපත් කරන්නේ අකැමැත්තෙනි. හඬගා කියන්නට සිතෙයි. ඔව්! ඔවුන් දුප්පතුන් ය. සමහරුන් නූගතුන් ය. ඒත් මනුෂ්‍යයන් ය. සරලවම කියතොත් ඔවුන්ද අභිමානවත් රැකියාවක් කරන්නියන් ය. කරන්නන් ය.

තවමත් සිහිවෙයි. රැකියා ජීවිතයේ එල්ලවන තාඩන පීඩන තරමකින් හෝ මැකී ගියේ ලද ඉස්පාසුවක තොල ගෑ මධු විතෙනි, ඉරූ ගංජා සිගරට්ටුවකිනි. අප අතර පාපතරයන්, සල්ලායන් නොසිටියා නොවේ. අනේකවිධ දුක් විඳින යුවතියන් ආදරය පෙන්වා රවටන, ඇගේ හැඟීම් අවුළුවා බොර දියේ මාළු බාන පාපතරයන් බොහෝ සිටියහ. ආදරය හිත හරි අපූරුවට අසරණ කරන සොඳුරු තාරුණ්‍යය නිසාම ඇතැමුන් රැවටුනහ. ජීවිතයම කඳුළක් කරගත්හ. එවැන්නන්, එවැන්නියන් සිටින්නේ ගාමන්ට් උප සංස්කෘතියේ පමණක්ද?

ඔවුන් මාසයක් පුරා උපයන සුළු වැටුප දෙස බොහෝ දෙනා බලා සිටිති. විටෙක ඒ ඔත්පල අම්මා තාත්තා ය. විටෙක නංගි මල්ලී ය. ඒ සියළු යුතුකම් ඉටු කළ පසු යුවතියට ඉතිරි වන සුළු මුදල ඇගේ ඕනෑ එපාකම් සපුරාගන්නට හොඳටම මදි ය. කොතරම් දුක් වින්දද ඔවුන් කෑම පැයට එන්නේ අවිහිංසක සිනහවකින් මුව සරසාගෙන ය. ඉද හිට හෝ මහ හඬින් සිනහවන්නට එකියක ශෘංගාරාත්මක විහිළුවක් දෙකක් කියයි. සොඳුරු ය. අතිශය සොඳුරු ය. ඒ හැඟීම් කොහෙත්ම වචන නම් කළ නොහැක.

එදවස දවස් බොහෝ දිගු ය. රාත්‍රීන් ඊටත් වඩා දිගු ය. කීයට ගෙදර යන්නට හැකි වේවිදැයි කියන්නට දන්නේ නැත. ඉඳිකටු, නූල්, අයන්, බොයිලේරු, පොලි බෑග්, හැඟර්ස් අතර දහවල රාත්‍රිය දියාරු වී ගියේ ය.

ඒ සොඳුරු ගාමන්ට් ජීවිතය සිහිවන වාරයක් වාරයක් පාසා මට සිහි වන ගීතය මා ඔබටත් මතක් කරන්නද?

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද මේ පාරවන්නේ, මතක් කර දෙන්නේ අපේ පන්තියේ සමනළියන්ගේ ජීවිතවල නොපෙනෙන පැත්ත ය. දහසක් දුක් කම්කොටොළු මැද ඇඟළුම් මතින් යාන්තමට ජීවිතය ගැට ගසා ගන්නට වෙර දරන දිරිය යුවතියන්ගේ කතාව ය. ඔව්! කෙදිනක හෝ ඔවුන් ජීවිතය දිනාවි. සත්තකින් ම... ඔබත් හැකි නම් වෙනත් කෝණයකින් ඔවුන් දෙස බලන්නට හුරු වන්න.


නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද...
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද...
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද...

දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර...
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...

තබා දෙතොල ඉඳික‍ටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල...
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ...

·································································
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

හිත ගාව ෆේස්බුක් පිටුවේ අරමුණ ඔබ මේ ගීත, කතා බලා ඒ පිළිබඳ මොහොතකට සංවේදී වී සිටිනු දැකීම නම් නොවේ. ඔබට ඔබේ සිතුම් පැතුම් මේ හරහා වෙනස් කරගත හැකි නම් සිදුවිය යුත්තේ එයයි. සත්තකින්ම... ඔබත් ලියන්න හිත ගාව සිත් බිත මත!

-------------------------------------------
මා ඔබට සමු දෙන්නේ වික්ටර් රත්නායකයන් ගයන මේ පද කිහිපයත් ඔබට මතක් කර දෙමින්...

"එම සන්නාලිය නංගා දෙස නොබලන් වපරැසකින් !..."

2013/06/21

No comments:

Post a Comment