Monday, June 10, 2013

මේ පාලු සීත රාත්‍රියේ - චන්ද්‍ර‍ලේඛා පෙරේරා



විටෙක මට මෙහෙම හිතෙනවා. මේ ගීතය නිදිවර්ජිත පිරිමියෙකුට මේ තරමට ම දැනෙනවා නම් තරුණියකගේ හිතට කොයි තරම් දැනෙනවා ඇතිද? 

ප්‍රේමයේ විරහව ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. මේ තවත් එක් ප්‍රේමවන්තියකගේ විරහවේ ගීතමය ප්‍රකාශනයක්. මොහොතක් හිතලා බලන්න. මේ ගීතය ඇතුළෙ මේ ප්‍රේමවන්තිය ඇගේ අහිමි වූ පෙම්වතාගෙ උනුහුම ආදරය බලාපොරොත්තු වෙන හැටි.

"මේ පාලු සීත රාත්‍රියේ
කියා දෙන්න රහසින්...
ප්‍රේමය නම් කිමැයි කියා...//"

සෙනෙහසත්, අනුරාගයත් එක්වුනු තැන බිහි වෙන්නෙ අතිශය සොඳුරු සංවාසයක්. නමුත් ඒ සොඳුරු සංවාසය ලබන්න මේ ප්‍රේමවන්තියට වරම් නැහැ. ඒත් අහිමි බව දැන උන්නත් හිතට දැනෙන හැඟීම් කොහොම පිටමං කරන්නද...?

මට දැනෙන හැටියට මේ ගීතයේ කිසිම වචනයක් අහක දැමිය යුතු තත්වයේ නැහැ. හැම වචනයකම වටිනාකමක් තියෙනවා.

"නිදිමත තරු කැට කඩා වටේ
ඉඩ දී අඳුරට අහස් තලේ
සඳ මල මිලිනව බලා හිඳී
දකින තුරා අඬ නුවන් අපේ
සඟවා ළය මත ඔබෙ වත රහසින්
කියා දෙන්න ළං වී...
ප්‍රේමය නම් කිමැයි කියා..."

ප්‍රේමවන්තිය කියන විදිහට නිදිමත තරු කැට අහස අඳුරට භාර කරලා කඩා වැටෙන්නේ ඇගෙයි ඔහුගෙයි සොඳුරු සුයාමයට ඉඩ දෙන්න වගේ. හේතුව, අඳුර කියන පාරිසරික සාධකය හරි අපූරුවට පෙම්වතුන්ගෙ හැඟීම් හා බද්ධ වෙලා තියෙන නිසා. සඳ මිලින වෙලා බලා ඉන්නේ මේ ප්‍රේමවන්තයින්ගෙ දෑස් අඬවන් වන තුරු.

හිතලා බලන්න දෑස් අඬවන් වීම කියන කාරණය ඇතුළෙ හරිම සියුම් විදිහට අනුරාගය ඉස්මතු කරලා තියෙන හැටි. ඒ හරහා රචකයා මේ තරුණියගෙ හිත අතිශය සියුම්ව කියවනවා.

'සඟවා ළය මත ඔබෙ වත රහසින්"

ගීතය තුළ සභ්‍යත්වය හොයන ඇතැම් විචාරකයින්ට නම් මේ වචන කිහිපය තවත් එක නිර්දය විවේචනයකට මඟ පෙන්වන්නක්. හේතුව, මේ පද කිහිපය හරහා රචකයා තරුණියගේ අනුරාගයේ උපරිමය ප්‍රකාශ කරන නිසා.

ඔබ මට දොස් නඟාවි. ගීතය ඇතුළෙ තියෙන අනුරාගය පමණක් උපුටා දක්වනවා කියලා. නැහැ. සරලවම කියනවා නම් සහ මට දැනෙන හැටියට අනුරාගය සහ කාමය කියන කාරණා දෙක අතර විශාල වෙනසක් තියෙනවා. මං මේ කතා කරන්නෙ අතිශය සොඳුරු අනුරාගය ගැන.

තරුණිය නැවත නැවතත් උත්සාහ ගන්නවා ඇගේ සිත සනසා ගන්න. ඒ නිසයි ඇය කියන්නෙ මුළු පරිසරයම පෙම්වතුන් දෙදෙනාගේ එක්වීම අපේක්ෂා කරන බව. පවන් රොදක සිසිලස පවා නොලබා ගහකොල නිසලව බලා ඉන්නවා. පවන් රොදක සිසිලස ලබන්න තරම් ගහ කොලට හිතක් නෑ. ගහකොලත් බල ඉන්නෙ ඒ සොඳුරු මොහොත එළඹෙන තුරු.

ගීතයේ එක තැනක රචකයා හරි අපූරු දෙයක් කියනවා.

"පිණි කඳුළැලි කැට කඩා වැටේ
ඇසෙන තුරා පෙම් වදන් අපේ"

බලන්න... රාත්‍රියේ වැටෙන පිණි කැට පවා ඇය දකින්නෙ කඳුළු විදිහට. ඇගේ දෙනෙතින් පවා මේ මොහොතේ කඳුළු ගලනවා.ඒ පිණි පවා, මේ කඳුළු පවා බලා ඉන්නෙ දෙදෙනාගෙ පෙම් වදන් ඇසෙන තුරු.

අවසාන වශයෙන් මං ඔබට මෙහෙම කියන්නම්.

"සුසුමක් සුසුමට ලං කර රහසින්
කියා දෙන්න ළං වී...
ප්‍රේමය නම් මෙයැයි කියා..."

No comments:

Post a Comment