Monday, June 10, 2013

කේ.ඩී.කේ.ධර්මවර්ධන

මිල්ටන්ගේ-කේ. ඩී. කේ. ගේ සොහොන් කොත් එක ළඟ හැදුවේ දෙදෙනාගේ මිත්‍රත්වය නිසයි.
- සමදරා කෝට්ටගේ

2000 නොවැම්බර් හය වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙලොවින් සදහටම සමුගෙන ගිය ඔහු කළුආරච්චිගේ දොන් කුමාරසිරි ධර්මවර්ධන ය. අප කවුරුත් දන්නා හඳුනන පරිදි නම් ඔහු කේ. ඩී. කේ. ධර්මවර්ධන ය.

දක්ෂ, ජනපි‍්‍රය ගී පද රචකයකු මෙන්ම විද්‍යුත් මාධ්‍යවේදියකු ද ව සිටි කේ. ඩී. කේ. අපෙන් වියෝ වී අදට හරියටම වසර එකොළහකි. සිය අමිල මෙහෙවර උදෙසා කිසිදා බුහුමන් නොලද විශිෂ්ට කලාකරුවකු වන කේ. ඩී. කේ. අද බොහෝ දෙනකු හට අමතක වී ගොස් ඇති සේය. එහෙත් ජීවන ගමන් මඟෙහි ඔහුගේ සහකාරිය වී රැඳී සිටි සමදරා කෝට්ටගේ වන ඇයට නම් කේ. ඩී. කේ. පිළිබඳ මතක අමතක නොවන්නාක් මෙන්ය. සමදරා අවදි කළ කේ. ඩී. කේ. පිළිබඳ මතක සැමරුම් ඇසුරෙන් ලියැවෙන ලිපියකි මේ.

කේ. ඩී. කේ. ගේ වෘත්තීය ජීවිතය පිළිබඳ කියනවා නම්...? 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහකාර පුස්තකාල කළමනාකරු ලෙස තමා කේ. ඩී. කේ. මුලින්ම ඔහුගේ වෘත්තිය ජීවිතය අරඹා තියෙන්නේ. ඒ අතර එකල පළ වූ ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ ලේඛකයකු ලෙස ද කටයුතු කර ඇති කේ. ඩී. කේ. පසුව සිය පුස්තකාල කළමනාකාර රැකියාව සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට මාරුවීමක් ලබාගෙන පැමිණෙන්නේ ගුවන් විදුලියට සම්බන්ධ වීමට වැඩිපුර අවස්ථාව ලබා ගැනීමට ය.

1967 දී ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස සේවයට එක් වී පසුව තැටි ගබඩා භාරකරු, වාචික වැඩ සටහන් පාලක, සිටි එෆ්. එම්. පාලක වශයෙන් විවිධ තනතුරු දරා ඇති කේ. ඩී. කේ. අවසාන කාලයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ‘උම්අල්ක්වේන්’ ගුවන් විදුලියේ සිංහල වැඩ සටහන් භාර ප්‍රධානියා ලෙස කටයුතු කරමින් උන්නා.

කේ. ඩී. කේ. රට හැර ගියේ ඇයි? 

කලකිරීම නිසා. විශේෂයෙන්ම එවකට සේවා ස්ථානයේ ඇති වූ ප්‍රශ්න කිහිපයක් නිසා කේ. ඩි. කේ. පුදුමාකාර කලකිරීමකින් උන්නේ. ගුවන් විදුලියේ වහල යටයි අපේ ජීවිතවල වැඩි කාලයක් ගත වී ගොස් තියෙන්නේ. අපි අපේ ගෙවල්වල ගත කර ඇති කාලය ඉතාම ටිකයි. ඉතින් එහෙම වුණාම ප්‍රශ්න නිසා කලකිරීම් ඇති වීම පුදුම වෙන්න කාරණයකුත් නෙමේ. ජීවිත කාලයෙන් වැඩි කාලයක් කැප කළ සේවා ස්ථානය ගැන කලකිරුණාම කේ. ඩී. කේ. ට මේ රටේ ඉන්න එකත් වදයක් වගේ වුණා. ඒ හින්දයි ඔහු රට හැර ගියේ.

ගී පද රචකයකු ලෙස කේ. ඩී. කේ. සතු වූ ප්‍රතිභාව පිළිබඳ ඔබට හැඟෙන්නේ කෙසේ ද?

කේ. ඩී. කේ. සතුව පැවති ප්‍රතිභාව ඔහුට සහජයෙන්ම උරුම වූ අසාමාන්‍ය ප්‍රතිභාවක් ලෙසයි මට හැඟෙන්නේ. සහජයෙන් ගී පද රචකයකු වුණා වගේම මහනුවර ධර්මරාජ විදුහලෙන් මල්වතු විහාරයේ වෑඋඩ දේවමිත්‍ර නායක ස්වාමින් වහන්සේගෙන් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා හැදෑරීමෙන් උපමා රූපක යොදමින් බස හැසිරවීමට ද කේ. ඩී. කේ. වඩාත් පරිණත වී තිබෙනවා. පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් අතර වෙනස තේරුම් අරගෙන සාර්ථකව නිර්මාණකරණයේ නියැලෙන්න කේ. ඩී. කේ. ට පුළුවන් වුණේ භාෂා පිළිබඳ ඔහු සතු එම පරිණතභාවය නිසා යි.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැයු “මහ වැස්සක පෙර නිමිති” (මා දැන් මහලු වියේ), කුමරියක පා සළඹ විජේරත්න වරකාගොඩ ගැයූ“මිහිරි සිහිනයක දැවටුණු” ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැයු “දිනෙක හිරු බැස යන” - “නීල බිඟු කැල” - “හෝපලු වන පෙත” - “සඳ හිරු පවතින තුරු” - “අපි උදේ ගිහිල්ලා” වැනි හැත්තෑවේ දශකයේ වඩාත් ජනපි‍්‍රය වූ ගීත සංකල්පනාවන්ගේ හිමිකාරයා කේ. ඩී. කේ. වූ අතර වර්තමානයේ ගීතලෝලීන් අතර ද ආදරය දිනා ඇති “මගෙ හිත වෙනතක” - “සතුටු සුළං රැලි” - “කවුදෝ කවුදෝ” (ඉන්ද්‍රානි පෙරේරා) - “ආදර සීනුව“ - “රනින් මාල” (ග්‍රේෂන් ආනන්ද) - “රන් මී විත පුරවා” - “මා සනසා” - “නිලුපුල් යුවළේ” (මර්වින් පෙරේරා) - “ඇගේ සිනහව තහනම්” - “ගම මහනුවරයි” (චන්ද්‍රකුමාර් කඳනආරච්චි) - “රිදී නිම්නය කඳුළු නිම්නය” (බන්දුල විජේවීර) - “සුරඟන වෙස් වළා” (ගෝල්ඩන් චයිම්ස්) - “බිඟු බමා බමා” - “ඔබට සිත ආදරේ කරයි” (දයාරත්න පෙරේරා) - “සුවඳ දෙන මල් වනේ” (රූකාන්ත ගුණතිලක) වැනි ගීත දෙදහසක් පමණ ඔහුගේ ගී පද සරණියේ ඇතුළත් ය. මෙහිදී අපට අමතක කළ නොහැකි දායකත්වයක් කේ. ඩී. කේ. ධර්මවර්ධන නමැති ගී පද රචකයාට ලැබී ඇත්තේ මිල්ටන් මල්ලවආරච්චි ගායන ශිල්පියාණන්ගෙන් ය. කේ. ඩී. කේ. මුලින්ම ගී පද රචකයකු වන්නේ ද මිල්ටන්ගේ ඇරියුමින් ය. ඒ පිළිබඳව සමදරාගේ මතකය අවදි වූවේ මෙසේ ය.

“කේ. ඩී. කේ. ගේ නිවේදන කලාවට බෙහෙවින්ම කැමැති කෙනෙකු තමා මිල්ටන්. ඒ වගේම ඔවුන් දෙන්නා හොඳ මිතුරෝ. ගීත ලියන්න කේ. ඩී. කේ. ට මුලින්ම ආරාධනා කර තියෙන්නේ මිල්ටන්මයි. ඒ අනුව මිල්ටන්ට ලියූ “ආදරයේ මිහිර රැඳී” ගීතය කේ. ඩී. කේ. ගේ මුල්ම ගී පද රචනය වුණා. එකල එය එතරම්ම සාර්ථක ගීතයක් නොවුණු නිසා ගී පද රචනයට කේ. ඩී. කේ. උදාසීන වෙලා ටික කාලයක් ඉන්න කොට මිල්ටන් නැවතත් බලකර තියෙනවා ඔහුට ගීතයක් ලියන්න කියලා. ඒ නිසා ලියු “දෙඅදර විලිකුන් සුරත් පලේ” ගීතය සාර්ථක නිර්මාණයක් වීමත් සමඟ තමයි කේ. ඩී. කේ. සෘජුවම ගී පද රචනයට පිවිසී තියෙන්නේ.”

මිල්ටන් කේ. ඩී. කේ. සුසංයෝගයෙන් නිර්මාණ වූ ගීත පිළිබඳ ඔබේ මතකය පවසනවා නම්...?

මිල්ටන්ට කේ. ඩී. කේ. ගීත සිය ගණනක් ලියා තියෙනවා. මිල්ටන් ගැයූ “රණබර ඉඳුඳුණු සිතුවම් වෙලා” - “සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්” - “මා හා එදා පි‍්‍රය සාදයේ” - “සයුරු තෙරේදී” - “මට මෙන් ඔහුට ද කඳුළ ඔබයි” - “උපුල් කොපුල් වෙහෙසී ඇතේ” - “රන්මසු නැහැ කියා” - “ඉවුරු තලා ගංඟා බැස යනවා” - “සිටු කුමාරියේ ඔබේ සිනා සඳළු තලාවේ” - “කෙසේ කියන්නද ඔබ මා අතහැර” - “නිරතුරු ඔබ ගැනම සිතන්නෙමි” වැනි ගීත ගණනාවක්ම පද රචනා කේ. ඩී. කේ. ගේයි. මිල්ටන්ට ලියු අවසාන ගීතය “වීණා බිඟු වීණා” ගීතයත් සැබෑ අත්දැකීමක් ඇසුරෙන් ලියු ගීතයක් බව කේ. ඩී. කේ. කියලා තියෙනවා. කඳුකර ප්‍රදේශයක දී රාත්‍රි සාදයකදී හමුවූ යුවතියක් සම්බන්ධ ඒ අත්දැකීම කේ. ඩී. කේ. ට කියලා තියෙන්නේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයි.

කේ. ඩී. කේ. ගේ සමීපතම හිතවතුන් වුණේ කවුරුන් ද? 

මිල්ටන්, වික්ටර්, චන්ද්‍රකුමාර්, මර්වින්, විජය කුමාරතුංග සහ දයාරත්න පෙරේරා තමයි කේ. ඩී. කේ. ගේ සමීපතම හිතවතුන්ව උන්නේ. ඒ අයගෙන් මිල්ටන් කේ. ඩී. කේ ට පුදුමාකාර මිත්‍රත්වයක් ආදරයක් තිබුණු හිතවතෙක්. මිල්ටන් කේ. ඩී. කේ. ව ඇමතුවේ ‘ධර්මේ’ කියලා. අසනීප වෙලා නවලෝක රෝහලේ ඉන්න කොට මිල්ටන්ව බලන්න කේ. ඩී. කේ. සමඟ මමත් ගියා. ඒ වෙලාවේ මිල්ටන් කේ. ඩී. කේ. ගේ අත්දෙක අල්ලාගෙන ඇඬුවා. මිල්ටන්ගේ ඇස් දෙකෙන් කඳුළු ගලා ගෙන ඇවිත් කේ. ඩී. කේ. ගේ අත්දෙක තෙමුණා. කනත්තේ මිල්ටන්ගේ සොහොන ළඟින්ම කේ. ඩී. කේ. ගේ සොහොනත් මම හැදුවේ දෙදෙනාගේ ඒ මිත්‍රත්වය හින්දාමයි. ඒ වගේම දෙදෙනාගේම සොහොන් කොත්වල සඳහන් කරලා තියෙන්නේ එක සමාන ගීත සරණියක් බවත් එහි යන කාට වුණත් දකින්න පුළුවන්.

- ජෝජ් රොබ්සන් ද සිල්වා -

උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත

1 comment:

  1. විශිෂ්ඨ ගීත රචකයා පිළිබඳ ඉතාමත් සම්පූර්ණ වාර්තාවක්. ොඩක් ස්තූතිවන්ත වෙමි.

    ReplyDelete