Thursday, June 20, 2013

නිල් මහනෙල් බරයි කියා - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

ටාගර්ට් එක, පැකිං ලිස්ට් එක, ෂිප්මන්ට් එක, ගේට් පාස්, අයන්, හැඟර්ස්, බොයිලර්ස් මත ජීවිතය දියාරු වී ගිය සත් මසක් මතකයේ සදා නොමැකෙන ඉසව්වක වාඩිලාගෙන සිටී. මානසිකවත්, ශාරීරිකවත් මා විඩාපත් කළ එසමය ගැන දැනුදු හරි ආදරණීයව බලන්නට සිත මට ඇරයුම් කරන්නේ එදවස සිතට තදින්ම බැඳුණු සොඳුරු හිත මිතුරු සමාගමය නිසා ය. එය මා දෛවයේ ලියා තිබූ දෙයක් බව මා විශ්වාස කරමි.

ගාමන්ට් ජීවිතයේ හැටි එහෙම ය. සිනිඳු රෙදි මත කුරිරුව එහෙ මෙහෙ යන ඉදි කට්ටකට ඒ සොඳුරු ජීවිත කිසිවෙකු උපමා කරනවාට මා කැමති නැත. ඔවුන් ද මිනිසුන් ය. ඔවුන්ට ද ආදරය ගැන, ජීවිතය ගැන ඔබට මෙන්ම සොඳුරු අර්ථකතන තිබේ. ඔබට තිබෙනවාට වඩා යහපත්, අහිංසක බලාපොරොත්තු ද තිබේ. නමුත් මෙතැන ඇත්තේ අධ්‍යාපනය සහ පන්තිය පිළිබඳ ප්‍රශ්නයකි.

ගාමන්ට් යන ගම් ගෙදරක ගැහැණු දැරියක් දෙස ඊනියා සුචරිතවාදී, ශික්ෂාකාමී 'මහත්තුරුන්, නෝනා මහත්තුරුන්' බලන්නේ වපර ඇහෙනි. "ඕකි විච්චූරන ඇඳුම් ඇඳගෙන ගිහින් නටනවා ඇති එක එකත් එක්ක."
එක ලිඳකින් වතුර බී පිපාසයට නොව කෑදරකමට වෙනත් ළිං වලින් වතුර බොන ප්‍රතිපත්තිගරුක මහත්තුරු, පත්තිනි අම්මාට වඩා පති වෘතය පුරන බවට ශපථ කරන නෝනා මහත්තුරු කියන්නේ එහෙම ය. පැය අටක් පුරා කුණු බැණුම් අසා, ගත දහඩිය කඳුළු වගුරුවා රෑ බෝවී ගෙදර එන ගාමන්ට් යුවතිය ගමේ සල්ලාල සිතැත්තන්ට 'ගාමන්ට් කෑල්ලකි'.

බසයක යන විට කුඩා ගමන් මල්ලක් ගෙන විටෙක නූල් බැඳුණු වරලසින් යුතුව බසයට ගොඩවන ගාමන්ට් ටුවතිය දෙස ඇතැම් විධායක නිළධාරීන් පමණක් නොව උසස් යැයි සම්මත රැකියා කරනවා යැයි සමාජය විසින් උලුප්පා දක්වන මිස්ලා බලන්නේ වෙනමම බැල්මකිනි. මා මේ කියන්නේ අතිශයෝක්තියක්ද? ඔබ ඔබේම හදවතින් අසා බලන්න.

සත් මසක් පුරා මා ගාමන්ට් ජීවිතයේ බොහෝ සියුම් තැන් ස්පර්ශ කළෙමි. වරෙක නෙතට කඳුළක් ගෙනෙන අවස්ථාවන් වැඩි පුර තිබුණු බව අදටත් මා සිහිපත් කරන්නේ අකැමැත්තෙනි. හඬගා කියන්නට සිතෙයි. ඔව්! ඔවුන් දුප්පතුන් ය. සමහරුන් නූගතුන් ය. ඒත් මනුෂ්‍යයන් ය. සරලවම කියතොත් ඔවුන්ද අභිමානවත් රැකියාවක් කරන්නියන් ය. කරන්නන් ය.

තවමත් සිහිවෙයි. රැකියා ජීවිතයේ එල්ලවන තාඩන පීඩන තරමකින් හෝ මැකී ගියේ ලද ඉස්පාසුවක තොල ගෑ මධු විතෙනි, ඉරූ ගංජා සිගරට්ටුවකිනි. අප අතර පාපතරයන්, සල්ලායන් නොසිටියා නොවේ. අනේකවිධ දුක් විඳින යුවතියන් ආදරය පෙන්වා රවටන, ඇගේ හැඟීම් අවුළුවා බොර දියේ මාළු බාන පාපතරයන් බොහෝ සිටියහ. ආදරය හිත හරි අපූරුවට අසරණ කරන සොඳුරු තාරුණ්‍යය නිසාම ඇතැමුන් රැවටුනහ. ජීවිතයම කඳුළක් කරගත්හ. එවැන්නන්, එවැන්නියන් සිටින්නේ ගාමන්ට් උප සංස්කෘතියේ පමණක්ද?

ඔවුන් මාසයක් පුරා උපයන සුළු වැටුප දෙස බොහෝ දෙනා බලා සිටිති. විටෙක ඒ ඔත්පල අම්මා තාත්තා ය. විටෙක නංගි මල්ලී ය. ඒ සියළු යුතුකම් ඉටු කළ පසු යුවතියට ඉතිරි වන සුළු මුදල ඇගේ ඕනෑ එපාකම් සපුරාගන්නට හොඳටම මදි ය. කොතරම් දුක් වින්දද ඔවුන් කෑම පැයට එන්නේ අවිහිංසක සිනහවකින් මුව සරසාගෙන ය. ඉද හිට හෝ මහ හඬින් සිනහවන්නට එකියක ශෘංගාරාත්මක විහිළුවක් දෙකක් කියයි. සොඳුරු ය. අතිශය සොඳුරු ය. ඒ හැඟීම් කොහෙත්ම වචන නම් කළ නොහැක.

එදවස දවස් බොහෝ දිගු ය. රාත්‍රීන් ඊටත් වඩා දිගු ය. කීයට ගෙදර යන්නට හැකි වේවිදැයි කියන්නට දන්නේ නැත. ඉඳිකටු, නූල්, අයන්, බොයිලේරු, පොලි බෑග්, හැඟර්ස් අතර දහවල රාත්‍රිය දියාරු වී ගියේ ය.

ඒ සොඳුරු ගාමන්ට් ජීවිතය සිහිවන වාරයක් වාරයක් පාසා මට සිහි වන ගීතය මා ඔබටත් මතක් කරන්නද?

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද මේ පාරවන්නේ, මතක් කර දෙන්නේ අපේ පන්තියේ සමනළියන්ගේ ජීවිතවල නොපෙනෙන පැත්ත ය. දහසක් දුක් කම්කොටොළු මැද ඇඟළුම් මතින් යාන්තමට ජීවිතය ගැට ගසා ගන්නට වෙර දරන දිරිය යුවතියන්ගේ කතාව ය. ඔව්! කෙදිනක හෝ ඔවුන් ජීවිතය දිනාවි. සත්තකින් ම... ඔබත් හැකි නම් වෙනත් කෝණයකින් ඔවුන් දෙස බලන්නට හුරු වන්න.


නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද...
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද...
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද...

දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර...
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...

තබා දෙතොල ඉඳික‍ටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල...
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ...

·································································
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

හිත ගාව ෆේස්බුක් පිටුවේ අරමුණ ඔබ මේ ගීත, කතා බලා ඒ පිළිබඳ මොහොතකට සංවේදී වී සිටිනු දැකීම නම් නොවේ. ඔබට ඔබේ සිතුම් පැතුම් මේ හරහා වෙනස් කරගත හැකි නම් සිදුවිය යුත්තේ එයයි. සත්තකින්ම... ඔබත් ලියන්න හිත ගාව සිත් බිත මත!

-------------------------------------------
මා ඔබට සමු දෙන්නේ වික්ටර් රත්නායකයන් ගයන මේ පද කිහිපයත් ඔබට මතක් කර දෙමින්...

"එම සන්නාලිය නංගා දෙස නොබලන් වපරැසකින් !..."

2013/06/21

Saturday, June 15, 2013

සීනුව වදින තුරා - චරිතා ප්‍රියදර්ශනී

ගෙවී ගිය දවස් සමහරක් හරි ලස්සන ය. තවත් සමහරක් අතිශය ලස්සන ය. අනෙක් ඒවා දුක්බර ය. එහෙන් මෙහෙන් රටා දමා වියූ පැදුරක් මෙන් ජීවිතය අසම්පූර්ණ ය. අපිළිවෙල ය.

ජීවිතයට ළං වන හැම දෙනාම මේ සිත් වෙරළ මත පා සළකුණු තබා නොයති. අනිත් අතට එලෙස කෙනෙකුගේ සිතෙහි පා සළකුණු තබා යන්නට එන හැමෝටම ද නොහැකි ය. පා සළකුණු තැබූ උන්ගේ වටිනාකම, අතීතය, සිහිවටන නෙතට කඳුළක් නංවමින් ද විටෙක සතුටක් ගෙනෙමින් ද දැනෙන්නේ උන් ළඟ නැති දාට ය.

මේ ලියුම්කරු ඔබව ගෙන යන්නේ ස්වකීය අතීතය කරා පමණක් යැයි කියන්නට මට අයිතියක් නැත. මේ මතකානුස්මරණය තුළ බොහෝ දෙනාගේ අතීතයම ගැබ්ව ඇති බව හැඟෙයි.

අහඹු හමුවීම් සහ දෛවයේ ලියැවුණු හමුවීම් ලෙස හමුවීම් කොටස් දෙකක් ඇතැයි කිසිවෙකු කියූ බවක් මට නම් මතක නැත. නමුදු එහෙම හමුවීම් කාණ්ඩගතකලාට ඇති වරදක් ද නැත. මේ තවත් එක් අහඹු හමුවීමකි. අතිශය සොඳුරු "නැවත හමුවීමකි".

පා පුවරුවෙන් ඉහළට ගොඩ වෙත්ම දුටුවේ මගේ 3 වසරේ ගුරුතුමිය යැයි නොකියමි. ඈ මා 3 වැනි ශ්‍රේණියේ සිටියදී ඉගැන්වූ, මගේ ජීවිතයට හමුවූ 3 වැනි ගුරු මාතාවයි.

මීට වසර 15 කට පමණ ඇගේ මුහුණ සුන්දර කළ අපූරු සොඳුරු සිනාව තවමත් මා දුටු සැණින් ඇගේ මුවෙහි පහළ විය. ඈ වයසට ගොස් නැතැයි සිතට සතුටක් මෙන් ම අසීමිත ගුරු ගෞරවයක් ද හදවතේ කොටසක් වසා පැතිරී ගියේ ය. බස් රථය තුළ ම දණ ගසා වඳින්නට සිතෙයි. වරෙක සැහැසි වන සිත දැන් නම් නිස්කලංක වෙලා වගේ ය. නැවතත් බලමි. ඔව්! ඈ තවමත් එදා වගේම ය.

"දැන් කොහෙද වැඩ කරන්නේ?" ඈ අසන්නී ය.
- "......... එකේ මැඩම්"
"අර දවස්වල වෙන කොහේ හරි වැඩ කළා නේද පුතේ?" ඈ මේ අසන්නේ ගාමන්ට් ජීවිතය ගැන ය. ක්ෂණයකින් සිත් බිත මත හුරු පුරුදු සොඳුරු ගාමන්ට් සමාගමය ඇඳී මැකී යයි. ඒ මගේ පළමු වෘත්තිය ය. ඉඳ හිට හෝ ජීවිතය දෙස ආපසු හැරී බලන කල මඟ හැරී නොයන ලක්ෂ්‍යයකි ගාමන්ට් ජීවිතය.

ඇගේ පැනයෙන් 'හිත ගාව' ට තවත් ලිපියක් ලියන්නට අවැසි නිමිත්ත නිරායාසයෙන්ම ලැබුණි. එනම් මීළඟ ලිපිය සම්බන්ධ වන්නේ ගාමන්ට් ජීවිතයත් සමඟ ය.

"ඔයත් එක්ක වෙන කවුද හිටියේ?"
-... එහෙම හිටියෙ මැඩම්"
"ආහ්... ඔය කට්ටිය ම හරිම අහිංසක ටිකක් නේද?" යටි හිත උඩු හිතට එක පෙළට ටොකු අනී. ඈ කී අනෙකක්  සමඟ එකඟ වුවත් මේ නිගමනය සමඟ නම් කිසිසේත් ම එකඟ විය නොහැකි ය. ඒ මන්දයත්, මගේ වර්තමානයත්, අනෙක් උන්ගේ වර්තමානයත් දෙස බලන විට ඒ කියමන කොතෙක් දුරට සත්‍යක්දැයි නැවත වරක් සිතා බැලිය යුතු හෙයිනි.

"සුරා පොදක් මා තොළ ගෑ පමණින් සුරා සොඬෙකු වේදෝ...
ඈ අත ගෙන රැඟුමක් පෑ පමණින් මා සළෙලෙකු වේදෝ..."

සිත යළි යළිත් තර්ක කරන්නේ මගේ ඇතැම් වැරදි සාධාරණීකරණය කරන්නට ය.

3 වසරත්, මගේ ගුරු මෑණියනුත්, මිතුරු මිතුරියනුත් සිහි වෙයි. සැබෑවට ම එදා උන් අවිහිංසක ජීවිත අද වන විට ඇත්තට ම අවිහිංසක ද? ගෙවී ගිය වසර ගණනාව සමකාලීන අපට බොහෝ දේ අහිමි කර තිබේ. අනිත් අතට ඊටත් වඩා අප විසින් ම බොහෝ දේ අහිමි කරගෙන තිබේ. අහිමි වීමට වඩා අහිමි කර ගැනීම අතිශය දුක්බර දෙයක් බව දැනෙන්නේ දැන් ය.

අපට වඩා ඈ ආත්ම තෘප්තියක් ලබනු නිසැක ය. තමන්ගෙන් උගත් දහස් ගණනක් වූ දූ දරුවන් අද රටට ජාතියට වැඩදායී මිනිසුන් ලෙස සමාජය තුළ වැජඹෙන විට ඕ නිසැකවම සතුටු වනු ඇත. පාසැල් යන කාලයේදී ගුරුවරුන් ලබන ආත්ම තෘප්තිය ගැන නොදැනුණි. නමුත් ඒ තෘප්තිය දැනෙන්නේ තමන් ද එක් දිනක් හෝ දරුවෙකුට, දැරියකට ඉගැන්වූ දිනක ය. ඒ අතින් බලන කල එකී තෘප්තිය ලබන්නට තරම් මා වාසනාවන්තයෙක් වීමි.

හදිසියේම මට වෙනස්, සොඳුරු ගීතයක් මතක් විය. ඒ මොහොතේ 'ගුරු ගෞරව මානසිකත්වයක' සිටි මා හට මතක් විය යුත්තේ ගුරු උපහාර ගීතයක් යැයි ඔබද අනුමාන කරන්නට පිළිවන. නමුත් මගේ මතකයට ආවේ බොහෝ සොඳුරු නමුත් සරල පද මාලාවක් ඇති චරිතා ප්‍රියදර්ශනී නම් ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනියගේ හඬින් ගැයෙන "සීනුව වදින තුරා" නමැති ගීතය යි. ඒ ගීතය තුළ ගුරුවරුන් ස්වකීය ශිෂ්‍ය පරපුර කෙරේ තබා තිබෙන බලාපොරොත්තු, ස්වකීය යුතුකම සහ වගකීම නිසි ලෙස හඳුනා ගැනීම වැනි කාරණා ඇති බව අපට ඉතා හොඳින් වැටහෙයි.

සීනුව වදින තුරා
මුළු පාසැල් මිදුල පුරා
වැලි දූලි නාන දඟ පොඩි එවුන්ට
වේවැල් කසාය දෙන්නම්...

කවටකමට නොව මා
එහෙම කිව්වෙ ළමයෝ
ටිකක් දඟ වී
හුඟක් කැපවී
පාඩමේ යෙදෙමු
උදුරලා හෝ සොරා ගනු බෑ
අපි උගත් දේවල්...

සීනුව වදින තුරා...

අකුර අකුර ලියලා
පොතින් පොතද කියවා
පන්තියේදී කැකුළු පිපිලා
හෙට කුසුම් වේවී
නංගි මල්ලි අපට ඕනෑ
එහෙම හොඳ දරුවන්...

සීනුව වදින තුරා...

ඒ ගීතය ඔබට රිසි සේ දෙනෙත් පියාගෙන විඳින්නට ඉඩ දී මා නිහඬ වන්නම්. යළිත් ජීවිතයට තවත් ගීතයක් සමීප වූ හැටි, ගීතයක් හරහා තවත් ජීවිතයක් - මොහොතක් - එළිය වූ හැටි කතා කරමු. ඔබත් ලියන්න හිත ගාව ට. මේ සරල, නමුත් අතිශය සොඳුරු නවමු අත්දැකීම විඳගන්න.

Like us!
www.facebook.com/HithaGaawa

Monday, June 10, 2013

විකසිත පෙම් පොකුරු පියුම් - අමරදේව

මම ඔබට කතාවක් කියන්නම්. මේ කතාවත් සොඳුරු හිත ගාව පිටුව මත පල වෙන තවත් එක සත්‍ය කතාවක්.

පෙම්වතෙක්, මනාලියක්, මනමාලයෙක් සහ මනාලියගේ මස්සිනා හෙවත් මේ ලියුම්කරු.

අසම්පූර්ණ නමුත් සොඳුරු ආදරයක්. මම කියන්නම්.

මේ මොහොත වෙනකොට ඔහු රජයේ මණ්ඩලයක සැලකිය හැකි තරමේ රැකියාවක් කරන්නෙක්. නමුත් මනමාලියගේ පාර්ශ්වයේ නෑදෑයන් ගෙන යන රිය පැදවූවේ ඔහු. මනමාලියයි, මනමාලියයි පේරාදෙණිය මල් වත්තේ දොරටුවෙන් දෑත් පටලාගෙන එන හැටි ඒ දෑස් බලා ඉන්නව මං බලාගෙන. නෑදෑ පිරිවර නැවතත් මංගල ජෝඩුව උන්නු, අද දවසේ සතුටු සාමීචිය පැවැත්වෙන ශාලාව කරා පිටත් වුණා.

රතු පාට මංගල ඇඳුමකිනුත්, රතු පාට මල් කලඹකිනුත් සැරසිලා සිය හිමිගේ දෑතේ වෙලිලා ඇය වේදිකාව මත අසුනක වාඩිගෙන ඉන්නවා. දෙපාර්ශ්වයේම හිත මිතුරන්ගේ සුභ පැතුම් පිළිගන්න ගමන්.
කථානායකයා ඉන්නේ මගේ ළඟ!

මම ඔහු ගැන ඔබට කියන්නම්. අද පතිකුලයට යන ඇය ගැන මංගල යෝජනාවක් ගෙන ආව අනෙකා ඔහු. තමන් කැමැත්තෙන් පසු වුණු බලාපොරොත්තු තියාගෙන උන්නු ඇගේ මංගල දිනයේ මගේ ලඟ මේ වාඩි වෙලා ඉන්නේ ඔහු. තවත් එක් පෙම්වතෙක්. ඔව්! සත්තකින්ම...

ශාලාවේ පසෙක අමුත්තන් වෙනුවෙන් මධුවිත පිරෙනවා. මං ඒ දිහා බලන ගමන් ඔහු දිහත් බලනවා. කවදත් මිත්‍රශීලී ඔහු වෙඩින් කේක් කන ගමන් බීම වීදුරුව තොල ගානවා. වේදිකාව මත ඉන්න සංගීතකාරයෝ දෙන්නා තම තමන් ප්‍රිය කරන ගීත ගයද්දි මට ඔහුගේ හදවතින් අමරදේව ගේ ගීතයක් ඇහෙනවා ඇහෙනවා වගේ. මොහොතකට කලින් තොල ගෑව මධුවිත බොහෝ සිතුවිලි පුබුදු කරවලා. හිතට කලාකාමී අදහස් ගලා එනවා. හමුවීමට වඩා වෙන්වීම සොඳුරු මේ අරුමැසි ලෝකයේ තවත් එක් කලාත්මක අවස්ථාවක්.

වෙනසක් නොපෙන්වා සිනාසෙන ඒ පිරිමි දෙනෙත් දිහා බලාගෙන මම මනමාලියගේ මස්සිනා විදිහට - ලොකු අයියා විදිහට - තවත් එක් පෙම්වතෙක්ගේ හදවතින් මතුවෙන්නට අමරදේවට ඉඩ දෙනවා. රුධිර නාලිකාවලට පවා ඇල්කොහොල් මුසු වෙද්දි එක්තරා සොඳුරු පෙම්වතෙක් වෙනුවෙන් මගේ හිත වැලපෙනවා. සත්තකින්ම...
ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්!

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...

විකසිත පෙම්...

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...

විකසිත පෙම්...


පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - ඩබ්. ඩී. අමරදේව

------------------------------------------------
තමන්ව හැර යන පෙම්වතියට ඇසිඩ් ගසන, මරා දමන, සිය දිවි නසා ගන්නා සාම්ප්‍රදායික, සුචරිතවාදී පෙම්වතුන්ට වඩා ආචාර්ය අජන්තා රණසිංහයන් මේ ගීතය හරහා සිංහල සමාජයට දායාද කරන පෙම්වතා කොයි තරම් අගනේද? ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරමාදර්ශී පෙම්වතෙක්. ප්‍රේමයේ සුන්දරත්වය, නුරාව වගේම විරහවත්, දුකත් සම සිතින් විඳ දරා ගන්න ඔහුට අපූරු හැකියාවක් තිබෙනවා.

මං ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද? පශ්චාත් යුධ මානසිකත්වයේ ඉන්න, කසිකබල් කලා නිර්මාණ හරහා තාරුණ්‍යයේ රසිකත්වය මොට කරපු නිර්වින්දිත සමාජයකට අවශ්‍ය මෙවන් පෙම්වතුන් පෙම්වතියන් නොවේද?

ලියුම්කරු විදිහට හිත ගාව රැඳුණු හැම හැම වචනයකින්ම මා බලාපොරොත්තු වෙන්නෙත් තාරුණ්‍යයේ සිතුම් පැතුම් වෙනස් වීම තමයි. ඉතින් එන්න සොඳුරු හිත ගාවට.

www.facebook.com/HithaGaawa

Copyrights - 2013/06/09

කිරි සුවඳක් - පුන්සිරි සොයිසා

පුන්සිරි සොයිසා...

නම ඇහෙද්දි සිතින් මේ ලියුම්කරුවා වසර කිහිපයක් ආපස්සට ගමන් කරනවා. මතකෙට එනවා අතීශය සොඳුරු පාසැල් කාලය. එදත් අද වගේම මගේ සහ මගේ මිත්‍ර සමාගමයේ ජීවිතය වුණේ ගීතය. තාලය ඇල්ලුවේ ඩෙස්ක්, බංකුවලින්. ස්වර පුවරුව වුණේ මේ දෙතොල්. මයික්‍රොෆෝන නැති වුණත් සමහර වෙලාවට මේ සොඳුරු සංගීත සාජ්ජය නුදුරින් තිබුණු ප්‍රධාන කාර්යාලය ඇහිලා තිබුණා. ඒ වගේ වෙලාවට අපේ සාජ්ජය නැවතුණේ මුල් ගුරුතුමාගේ බැණුමකින්. ඒත් ඒ බැනුම දිහා පවා අපි බැලුවේ සොම්නස්සහගත සිතුවිල්ලකින්. සොඳුරුයි. අතිශය සොඳුරුයි.

ඒ වගේ ගීතයෙන් නිමා වුණු පාසැලේ කාලපරිච්ඡේද කීයක් නම් මතකයේ තියෙනවද...

ඒ කාලේ අපේ හිත්වල එක්තරා සොඳුරු කලාකරුවෙක්ගේ වෙනයම් විදිහකට කියනවා නම් කලා ලෝකයේ කතා බහ නොවන නිහඬ චරිතයක් ඇඳිලා තිබුණා. හැම සංගීත සුගායනයකදීම ඔහුගේ ගීතයක් අපි නොගැයුවේ නැති තරම්. පුන්සිරි... පුන්සිරි සොයිසා...

වසර බර ගාණකට කලින් සංගීත ක්ෂේත්‍රයට ආපු උඹව නූතන බටහිරවාදී යැයි කියාගන්නා අපිට ගොඩාක් දැනෙන ගායකයෙක් බව උඹවත් නොදන්නවා ඇති.
සත්තකින්ම, අපි උඹට ආදරෙයි... ඒ ගී හඬ ඇහෙන ඇහෙන වාරයක් පාසා අපිට උඹව දැනෙන්නෙ ඒ නිසාමයි.

-------------------

මේ හදිස්සියෙම පුන්සිරිව මතක් වුණේ අහම්බයකින් නම් නෙවෙයි. මේ කියන්න යන්නේ තවත් එක ආදර කතාවක්. නිකන්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. ආදරණීය ආදර කතාවක්.!

තවත් එක හමුවීමක් කාලයක් ළංවෙලා ඉඳලා, කාලයක් වෙන්වෙලා ඉඳපු හිත් දෙකක් සිතින් විතරක් නෙවෙයි. ශාරීරිකව්ත් ළං වුණාම දැනෙන හැඟීම් සමුදාය මේ ගීතයේ හරි අපූරුවට වචනවලට ගොනු කරලා තියෙනවා...

------
කාලයකට පස්සේ අපි මේ හමු වුණේ. මට තාමත් මතකයි එදා අපි ළං වුණු හැටි! ඒත්... ඒත් එදා නොදැනුණු සුවඳක් අද මට දැනෙනවා, ඔය ළැමැදෙන් කිරි සුවඳක්. නුඹ නොකිව්වාට මං දන්නවා එදා මං ළං වුණ යුවතිය අද පරිණත මවක් කියලා.

මේ හමුවීම, මේ ළංවීම මට පුදුමාකාර ආශ්වාදයක්. හරියට හිතට පිනි ඉහිනවා වගේ. ඒ හැඟීම ඇතුලෙන්ම මට අතීතය මැවිලා පෙනෙනවා. ඇත්තමයි. ඒක හිතට සැනසීමක්!

ඇත්ත! කාලාන්තරයකට කලින් ඔයාව මට අහිමි වෙලා ගියා. ඒත් ඔය මල් පෙතිවල සිනිඳු බව මං හොඳින් දන්නවා. ඔව්! ගොඩාක් දේවල්වලට අතීතයේ අපිට ඉඩ තිබුණා. සමහර දේවල් සිද්ධ වුණා. සමහර දේවල් සිද්ධ වුණේ නැහැ. අද අපි ඉන්නේ අන්ත දෙකක. මේ තාවකාලික නමුත් සොඳුරු හමුව සදාකාලික කරගන්න එක ප්‍රායෝගික නැහැ. මතක තියාගන්න... අතීතයේත්, මේ දැන් ගෙවෙන වර්තමානයේත් ඔයාගෙත්-මගෙත් රහස් මට හුරු පුරුදු ඔය ළැමැදේ හංගාගෙන රකින්න. මං ඔයාට හැමදාමත් ආදරෙයි.

"කිරි සුවඳක් මට දැනුණා ළැමැදෙන්
පිපුණු මලේ නුඹ ලඟ දැවටෙන සඳ
එදා දැනුණ සුව ළැමැදේ නොදැනෙන
ළඳුනි නුඹත් මව් පදවි ලබා ඇත...

කිරි සුවඳක් මට දැනුණා...

මුකුලිත කුසුමකි අතු අඟ පිපි මල
රොන් උරනා සඳ පිපි මල් පෙති මත
පිනි ඉහිරුණි දැයි මා සිත් උයනට
හදවත සැනසෙයි ඔබ දකිනා සඳ...

කිරි සුවඳක් මට දැනුණා...

මට අහිමිව ගිය නිල් මානෙල් මල
පෙති මත සුසිනිඳු බව මා හඳුනමි
රකිනු සොඳුර නුඹ ළැමැදේ සැඟවුණ
අප ගැන තොරතුරු සඟවා ලොවටම...

කිරි සුවඳක් මට දැනුණා..."

පද රචනය - ඩිලාන් නුවරපක්ෂ

සංගීතය - අසෝක පීරිස්
ගායනය - පුන්සිරි සොයිසා
--------------------

මේ ගීතය මට මුලින්ම අහන්න ලැබෙන්නේ මගේ මිත්‍ර සමාගමයේ හිටපු, අදටත් ඉන්න මං වගේ ම පුන්සිරිවාදියෙක්ගෙ ජංගම දුරකතනයෙන්. මේ ගීතයේ අර්ථය ගැන අපි හිනා වෙවී කතා කළා. ඒත් මට ඒ ගීතය මඟ හැරුණා. අවුරුදු ගාණක් හෙව්වා, අන්තර් ජාලය පීරලා හෙව්වා. ඒත් හමුවුණේ නැහැ. ඒ අතරේ මම අළුත් රැකියාවකට යනවා. ඒ ගියපු මුල්ම දවසෙත් මම සීඩී රාක්ක පුරා ඔහුව හෙව්වා. ඔහුගේ මේ ගීතය හෙව්වා. ඒත් නැහැ. දින ගණනාවක් ගත වුණා. අහම්බෙන් මට ඔහුව, ඔහුගේ මේ සොඳුරු ගීතය එක්ක හමු වුණා. ඔව්!

ඉතින් මේ ගීතයේ අර්ථය කතාබහ කිරීම උදෙසා වූ ඔබෙත් මගෙත් හමුවීම මෙතකින් නිමා වෙන්නෙ නැහැ. රැඳිලා ඉන්න හිත ගාව සොඳුරු ෆේස්බුක් පිටුවත් එක්ක. අපි ජීවිතයත් ගීතයත් ගැන කතා කරමු. පුන්සිරිගේ හඬින් ගැයෙන මේ සුභාවිත ගීතය අහන්න ඔබට ඇරැයුම් කරන ගමන් මම ඔබෙන් සමුගන්නම්... හමුවීමට වඩා වෙන්වීම අතිශය සොඳුරු බව මතක් කරමින් ම...


ගීතය මෙතැනින් අහන්න... http://www.youtube.com/watch?v=_b1cYHddN6o

Copy rights - හිත ගාව - 2013/05/28

ඔබ තරම් - තීක්ෂණ අනුරාධ

මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්...
"සුභාවිත ගීත" ලෙස ලේබල්කරණය කරන්න හැකි වෙන්නේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත විතරද?
එතකොට නව පරපුරේ ගීත කුණු ගොඩවල්ද?
පොඩ්ඩක් හිතලා බලලා පිළිතුරක් දෙන්න. ඔබ පිළිතුර දෙනකං මං ඔබට නව පරපුරේ සුභාවිත ගීතයක් ගැන මතක් කරලා දෙන්නම්.

ඔබට මතක ඇති 2000 වසරෙන් පස්සේ ලංකාවේ සංගීතය රැප් වුණු හැටි. රේඩියෝවක් දැම්මොත් කන පිරෙන්න කසි කබල් අරුත් සුන් සිංදු අහන්න පුළුවන් වුණා.
ඒත් මගේ මතකය නිවැරදි නම් 2008 වසරේදි එක්තරා ගී පද රචකයෙක් සහ සංගීතඥයෙක් එකතුවෙලා එතෙක් තරුණ පරපුරේ සංගීතය ගියපු පාර වෙනතකට යොමු කරනවා. ඔවුන් දෙදෙනා නමින් 'ඩිලාන් ගමගේ' සහ 'රදීශ් වැන්දබෝනා'.

'දුන්නු වේදනා, වෙන්වී දැන් යන්න ඉතින්, ඔබ තරම්, අනුරාගිනී, මේ ඇස් දිහා බලන්, අහන්න අදරේ තරම්, පෙම් පාට වෙලා, මනමාලකම්, ලන් ලන් වෙලා, ලඟ ඉන්න පැතුවාට, සිහින හොරා' වගේ නව පරපුරේ සුභාවිත ගීත - අර්ථයක් ඇති ගීත - ගණනාවක් නිර්මාණය වෙන්නේ මේ කලාකරුවන් දෙන්නගේ අතින්.

කොහොම වුණත් බොහොම කෙටි කාලයක් ඇතුළෙ මේ ශිපීන් දෙන්නම බොහොම ජනප්‍රිය වෙනවා. අද 'හිත ගාව' තුළින් කතා කරන්න යන්නේ ඉහත සඳහන් කරපු ගීත කුළකයෙන් "ඔබ තරම්' ගීතය නිර්මාණය වුණු හැටි ගැන.

ආදරේ කියන්නේ මහ පුදුමාකාර හැඟීමක්. කොහෙදි කොතැනකදි කාට කවුරු ගැන ආදරේ හිතෙයිද කියලා කවුද දන්නේ. සමහර විට කවුරු හරි අපිට ආදරේ කරනකොට ඒ ආදරේ අපට නොපෙනෙන්න ඉඩ තියෙනවා. ඒ ආදරේ ගණන් නොගෙන ඉන්න ඉඩ තියෙනවා. ඒත් කාලෙකට පස්සේ ඒ ආදරේ තරම දැනෙනකොට වෙන්න ඕන ටික වෙලා ඉවරයි. එහෙම නේද? ඔබටත් එහෙම අත්දැකීම් තියෙනවා නම් ඩිලාන් ලියලා, රදීශ් සංගීතවත් කරලා, තීක්ෂණ අනුරාධ මේ ගීතය ගයන්නේ ඔබටම තමයි.

කාලයකට ඉහත ඩිලාන්ට එක්තරා තරුණියක් ආදරේ කරනවා. අපි හිතමු ඇය ඔහුගේ සමීපතම යෙහෙළියක් කියල. ඒත් ඩිලාන්ට ඒ ආදරේ තේරුම් ගන්න තරම් හිතේ වුවමනාවක් තියෙන්නෙ නැහැ. සමහර වෙලාවට ඔහු ඒ ආදරේ තමන්ගෙ ජීවිතේට කරදරයක් කියලා හිතනවා. අඩුම තරමේ අවාසනාවට ඩිලාන්ට ඒ තරුණියගේ ආදරේ පොඩ්ඩක්වත් තේරුම් ගන්න බැරි වෙනව.

කාලයක් ගත වෙනවා. ඒ තරුණිය විදේශගත වෙනවා. ඔබට හිතෙයි ඒක බොහොම සාමාන්‍ය සිදුවීමක් කියලා. නැහැ. ඒ තරුණියගේ නික්ම යාම කවදාවත් ඇය ගැන ආදරයක් නොහිතුණු ඩිලාන්ට තදින්ම දැනෙන්න පටන් ගන්නවා. මෙච්චර කාලයක් තමන්ගේ ලඟටම වෙලා හිටපු, තමන්ගෙ අකමැත්ත ගැනවත් නොහිතා තමන්ට ආදරේ කරපු ඒ තරුණිය ලඟ නැහැ කියල දැනෙනකොට ඔහුට දරාගන්න බැරි තරම් දුකක් තනිකමක් දැනෙනවා.

ඒ හැඟීම ඔහු අකුරු බවට පත් කරනවා.

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වි ගිය දා
ඔය නෙතු හැඬ වූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ... මේ තරම් ආදරේ...

කාලයකට පස්සේ අපේ තරුණ පරපුර අර්ථයක් තියෙන නව පරපුරේ ගීතයක් ඒ හරහා රසවිඳිනවා.

---------------------------
ඩිලාන්, රදීශ්, තීක්ෂණ - ස්තූති ඔබ තිදෙනාට! වර්තමාන ගීත කලාව නව මඟකට යොමු කළාට!

Like us! හිත ගාව - (Hitha Gaawa)

අපෙ හැඟුම් වලට ඉඩ දී මොහොතක් - වික්ටර් රත්නායක

එක්වන්නට වරම් නොලද නමුදු සිත තවමත් සොයන්නේ ඔබවම යි. පෙර දා එකට අත් පටලන් මඳ අඳුරේ ඇවිදන් ගිය හැටි සිහිවන හැම මොහොතකම සිත ඔබට ආයාචනා කරන්නේ යළිත් ඒ සොඳුරු අවස්ථාවන් යළිත් මා දිවියට - මොහොතකට හෝ - ළං කරන ලෙස ය. එකිනෙකාගෙන් වෙන්වී ගෙවන චිත්ත පීඩාධික ජීවිතය සුළු මොහොතක් හෝ සනසාලන්නේ අපේ ආදරයෙන් බැවිනි.

අසීරුවෙන් සිර කරගත් සොඳුරු හැඟුම් වලට ඉඩ දෙන්නට කාලය පැමිණ තිබේ. මේ මඳ අඳුර අප පිළිගන්නට බලා සිටී... ඉතින්... මේ අතිශය සොඳුරු ඇරයුම ඔබටයි....

---
පෙම්වතාගේ අහිංසක ආයාචනය තුළ බොහෝ සොඳුරු ආදරනීය සොඳුරු හැඟුම් ගැබ් වී තිබේ...
හඳ පාන සහ මඳ අඳුර වූ කලී අනුරාගයට අත වනන අතිශය සොඳුරු කාරණාවන් ය. තම පෙම්වතිය හා අත් පටලාගෙන මඳ අඳුරේ යන්නට පෙම්වතා කරන ආයාචනය තුළ පෙම්වතුන්ගේ නිද්‍රාගත හැඟීම්වල ප්‍රකාශනයක් දැකිය හැකිය.

මේ ගීතයේ සොඳුරුතම පද කිහිපය කුමක් දැයි කිසිවෙකු විමසුවහොත් දෙසිතක් නොසිතා පවසමි.

"ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී...
මම මගෙ සෙවනැල්ලෙන් මිදී..."

එයින් ප්‍රකාශිත ආදරයේ සොඳුරුතම මොහොත හැඟුම්බර ය. ඊටත් වඩා ශෘංගාත්මක ය. ප්‍රකාශිත කාරණය "සෙවණැල්ලෙන් මිදීම" ලෙස ගලපන්නට ප්‍රේමකීර්ති ද අල්විස් නම් ප්‍රතිභාපූර්ණ ගීත රචකයා නිර්මාණාත්මක වී තිබේ.

---
සිතින් ලඟ උන්නත් ගතින් දුර හිඳ ගෙවන මේ ජීවිතයේ හැඬුම් හසරැල්ලෙන් සිර කර අනාගතය ගැන ප්‍රාර්ථනා පුරන්නට ඇරයුම් කරමි. හෙට හිමිදිරියෙන්ම වෙන්වී යා යුතුව ඇත. ලඟ ඉන්නට තහනම් මේ ලෝකයේ අසම්මත පෙම් කතාවක කොටස්කරුවන් ලෙස අප වෙන්වී යමු... ඔව්... සත්තකින්ම...
මතු ආත්මයේ යළි හමුවන පැතුමින්...

--------------------------------------------
අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ ... මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ . . .

හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . .

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...

හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . . .
·······························································
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක


●●● Like & Share us! ●●●
░ http://www.facebook.com/HithaGaawa ░

නැත ලොවේ අන් රසඳුනා.. ආදරේ සේ සුවදෙනා...

මහැදුරු සරච්චන්ද්‍රයන් ආදරය දුටුවේ එහෙම ය. ආදරය සුව ගෙනදෙන්නාක් මෙන් විටෙක ශෝකය ද ගෙන එයි. කලාවේ දී ශෝකය ද රසයක් ම ය. නිර්මාණකරුවෝ විටෙක ඒ ශෝක රසය සොයා යති. ඒ ශෝක රසය තුළින් පාඨක සිත් ප්‍රකම්පනය කරති. නව යොවුන් ප්‍රේමය වූ කලී ගලායන නදී ප්‍රවාහයක් බඳු ය. විටෙක එය කුඩා දිය පාරකි. වරෙක එය ගලා හැලෙන දිය ඇල්ලකි. තවත් විටෙක ගල්පරවල හැපෙමින් වුවද සොඳුරු ලෙස ගලායයි. තවත් විටෙක එය ගම්බිම් වනසන මහා ගංවතුරකි. ප්‍රේමය ද එසේ ය. ආදරය, කරුණාව, මෛත්‍රිය පිරී ඉතිරුණු අමා ගඟක් සේ එය යෞවන හදවත් කිතිකවමින් ගලායයි. එහෙත් ඒ අතර කඳුළු, සුසුම් අප්‍රමාණ ය. අජන්තා රණසිංහයන් ගේ ‘බොල්වී අහුරු’ නැමැති ගී පදමාලාව ප්‍රේමයේ එක්තරා දුක්බර සුසුමක් ස්පර්ශ කළා වූ සංවේදී නිර්මාණයකි.

ගීතයට පසුබිම් වන්නේ නාගරීකරණය නොවූ ගැමි පරිසරයකි. ගැමි දරුවෝ වැලි කෙළියේ පටන් එකට හැදෙති, වැඩෙති. ඒ අතර තුර ඔවුන් අතර අතිශයින් සංවේදී ළෙන්ගතුකම් හටගනී. ඇතැම්විට ඒ ළෙන්ගතුකම් තාවකාලික ය. ඇතැම්විට සදාකාලික ය. එහෙත් මේ නිර්මාණයට පසුබිම් වූ ළෙන්ගතුකම වූ කලී ශෝකාන්තයකි.

ගීතය රචනා කළ අජන්තා රණසිංහයන් තම පදමාලාව ආරම්භයේ ම ඒ ශෝකාන්තය අපූර්වත්වයෙන් යුතුව සන්නිවේදනය කරයි.

”බොල් වී අහුරු වෙල් හුළඟේ
ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත්
නොකියාම .....

රචකයා මෙහි දී ජනකවි සම්ප්‍රදාය සුභාවිත ලෙස යොදා ගනී. ජනකවියා සෑම විට ම උපමාවන් සොයාගත්තේ ගැමි පරිසරයෙන් ම ය. මේ යෞවනයා ගේ බලාපොරොත්තු සිඳී බිඳී ගිය ආකාරය රචකයා උපමා කරන්නේ බැත යාල් කරද්දී, බොල් වී සියල්ල ම වෙල්යායේ සුළඟෙන් ඈතට ගසාගෙන යාමටයි.

එසේනම් ඔහුගේ ප්‍රාර්ථනා කිරිවැදී පීදී නොමැත. ප්‍රාර්ථනා බොල් වී ගොසිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු සිත්ගත් ගැමි තරුණිය ඔහුටත් නොකියා දීගෙක යාම නිසා ය. “මටවත් නොකියා ම” යන යෙදුම තුළින් ඔවුන් අතර දුරදිග ගිය ඇඟෑලුම්කමක් තිබූ බව සනිටුහන් වේ. ඔහු ගේ ශෝකය වැඩිදියුණු වන්නේ නොකියා ම ඇය දීගයක ගිය බැවිනි. ප්‍රේමයේ විප්‍රයෝගය යෞවන සිත් පාරවන ආකාරය, ශෝක රසය මතු කරමින් ඉදිරිපත් කිරීමට රණසිංහයෝ සමත් වෙති.

මේ සමඟ ම තරුණයාට සිහිපත් වන්නේ අමතක කළ නොහැකි ඔවුන්ගේ අතීතයයි. ඒ අතීතය ගොඩනැඟෙන්නේ අතිරමණීය වූ ගැමි පරිසරයක් තුළයි. ඔවුන් අතර ළෙන්ගතුකම් ගොඩනැඟුණු ගැමි පරිසරය සිතුවමක් සේ එක්වර ම ඔහුගේ මනසේ ඇඳෙයි.

දම්පැහැ කහට කජු පුහුලන්
පිපිකාලේ
රංචුව ගැසුණු හැටි මතකද
අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳ හිට
දුටු වේලේ
බැරි උනි කියාගන්නට
හිත බැඳි ආලේ

කජු ගස් යට රංචු ගැසුණු ළමා අවදියේ ම ඔහුගේ සිත ඇය වෙත ඇදී යයි. එය හිරිමල් වයසේ ඇතිවුණු ඇඟෑලුම්කමකි. එහෙත් ඇයව ඔහුට වඩා ඉක්මනින් ස්වභාවධර්මය තුළින් යෞවනියක බවට පත්කරයි. ඔහු දැන් ගැටවරයෙකි. ගැමි සමාජය තුළ තරුණියකට තම සිතැඟි ප්‍රකාශ කිරීම පහසු කටයුත්තක් නොවේ. තරුණයා ගැමි සංස්කෘතිය තුළින් හික්මුණු තරුණයෙකි. ගැමියන් විසින් ලැජ්ජාව, බය යන නමින් හඳුන්වන ගති ලක්ෂණ තුළින් තරුණයා පසුගාමී මානසිකත්වයකට පත් ව තිබේ. ඇය දැන් යෞවනියකි. වෙනදා මෙන් ඇය රංචු ගැසෙන්නට නොඑන්නී ය.

එම නිසා ඇය දකින්නට ලැබෙන්නේ ඉඳහිට ය. “මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ” නැමැති ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වේ. තරුණයාගේ පරාදීන මානසිකත්වය “බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ” නැමැති ප්‍රකාශයෙන් මනාව දැනුවත් වේ. අජන්තා රණසිංහයන් ගැමි ව්‍යවහාරික බස් වහර අව්‍යාජ ව හසුරවන්නට සමස්ත නිර්මාණයෙන් ම සමත් වී තිබේ. එසේම මේ ගැමි තරුණයා තුළ ඇතිවන පසුතැවිල්ල ගීත රචකයාගේ යෙදුම් තුළ මනාව කැටයම් වී තිබේ.

අජන්තා රණසිංහයන්ගේ පදමාලාවේ ගුණාත්මක ම අවදිය කරා එළඹෙන්නේ අවසානයේ දී ය. පරාජිත ප්‍රේමයේ අවසානය වෛරය නොවන බව රචකයා සමාජයට මැනැවින් සන්නිවේදනය කරයි. තමා ආදරය කළ තරුණිය වෙත අවෛරී ව කරුණාව යොමු කරන්නට තරම් උත්තම වූ සිතුවිලි රචකයා විසින් මේ තරුණයා ගේ සිතුවිලි වෙතට ආරෝපණය කරනු ලබයි.

නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ
මේ අපි ජාති ජාතිත් පැතු ලෙසයි නඟේ
පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ
අත මිට සරුව නුඹ යහතින් හිඳින් නඟේ

මෙය මොනතරම් බෝධිසත්ව ප්‍රාර්ථනාවක් ද? මේ සැබෑ ආදරය නොවේ නම් වෙන කුමක්ද? ආදරවන්තයන් මෙතරම් මෙත් සිත් ඇති පරිත්‍යාගශීලීන් වන්නේ නම් ලෝකය මොන තරම් සුන්දරද? අජන්තා රණසිංහයන් යෞවන සිත් තුළ රෝපණය කරන්නට උත්සාහ කරනුයේ බෝසත් සිතුවිලි ය.

”හුලවාලි” චිත්‍රපටයට ධර්මසිරි ගමගේ රචනා කළ ගීතයක කොටසක් මේ මොහොතේ මට සිහිපත් වෙයි.

”ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති හීනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී”

අජන්තා රණසිංහයන්ගේ පදමාලාව දශක කීපයක් පැරැණි පදමාලාවක් වුවද එහි වටිනාකම වර්ධනය වන්නේ වර්තමානයේයි. අද ජනමාධ්‍ය තුළින් හෙළිවන බොහෝ සිදුවීම් තුළින් පැහැදිලිවන්නේ පේ‍්‍රමයට ආසන්නයෙන් ම පවතින්නේ වෛරය බවයි. පළිගැනීම වීරත්වයෙන් සැලකෙන තාරුණ්‍යයක් වර්ධනය වන සලකුණු පහළ වෙමින් පවතී. ඒ නිසා මෙබඳු බෝසත් සිතුවිලි තාරුණ්‍යයට එන්නත් කිරීම ජාතික වගකීමක් බවට පත්වෙයි.

මේ ගීතයට මීළඟ සාධාරණය ඉටුවන්නේ සංගීතය හා ගායනය තුළිනි. මෙහි අන්තර්ගත ශෝක රසය මතු කිරීම සඳහා බටනලාව හා සිතාරයේ හඬ පණ්ඩිත් අමරදේවයෝ භාවිතා කරති. ගැමි පරිසරය කේන්ද්‍රිය කරගත් ශෝක රසයක් ඒ ඔස්සේ රසික මනසේ තැන්පත් වෙයි. එසේ ම ජනකවියක රිද්මය මුළු ගීතය පුරා ම අමරදේවයෝ හසුරවති. එසේ ම එතුමන් ගේ ළයාන්විත ශෝකී හඬ මුළු ගායනය පුරා රැඳී පවතී.

සැබෑ කලාකෘති ආනන්දයෙන් ප්‍රඥාව කරා රසිකයා ගෙන යන බව ප්‍රකට ප්‍රකාශයකි. මේ නිර්මාණයෙන් ලබාදෙන ප්‍රඥාව කුමක්ද? ඒ අනෙකක් නොව, ආදරයේ සැබෑ අරුත රසිකයාට අවබෝධ කරදීමයි. දයාබර හදවත් ඇත්තන්, සමාජයට දායාද කරවීමයි. දුර්වර්ණ වූ මිනිස් සිත ප්‍රභාෂ්වරය විහිදුවන ආකාරයෙන් බැබළවීමයි. ඒ නිසා මෙය සත්පුරුෂයන් ගේ සත් නිර්මාණයක් බවට පත්වෙයි. ගීත කෙතේ බොල් වී වපුරන ගායකයන්ටත්, ගීත රචකයන්ටත්, සිංහල ගීත කෙත පුරන් කරන්නට ඉඩනොදෙන, කිරිවැදී පීදුණු ගීත නිර්මාණයක් ලෙස “බොල් වී අහුරු” නැමැති ගීතය හඳුන්වා දිය හැකිවන්නේ එබැවිනි.

- ධම්මික බණ්ඩාර -

බොල් වී අහුරු වෙල් හුළඟේ
ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත්
නොකියාම
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුණු හැටි මතක ද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
බැරි උනි කියා ගන්නට හිත බැඳි ආලේ

නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ
මේ අපි ජාති ජාතිත් පැතු ලෙසයි නඟේ
පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ
අත මිට සරුව නුඹ යහතින් ඉඳින් නඟේ


ගී පද - අජන්තා රණසිංහ
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව

උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත

---------------------------------------------------------------

එන්න... මේ සුභාවිත ගීත හරහා තාරුණ්‍යෙය් සිතුම් පැතුම් වෙනස් කරන්නට කාලය යි.
හිත ගාව - (Hitha Gaawa)
www.fb.com/HithaGaawa

විනේ කටින උන් - ප්‍රදීපා ධර්මදාස

♬ විනේ කටින උන් - ප්‍රදීපා ධර්මදාස 
(වරෙව් මහතුනේ කුණුකය වළදන්න) 

මෙම ගීතය උත්තම පුරුෂයෙන් කෙරෙන ප්‍රකාශනයක්. ඇය ගැහැණියක්. නිකං නෙමෙයි ස්වාමියා මිය ගිය දරුවන් කිහිප දෙනෙකු ඉන්න දුප්පත් ගැමි ගැහැණියක්. ස්වාමියා ඉතා ගුණ ගරුක පුද්ගලයෙක්. නමුත් ඔහු ඉතිරි කර ගියේ ඒ හොද නමම පමණයි. දරුවන්ව ජීවත් කරවන්න ඒ හොද නම පමණක් ප්‍රමාණවත් නැහැ. මුදල් අවශ්‍යයි. එතනදි ඇය තම ජීවනෝපාය ලෙස වෛශ්‍යා වෘත්තිය තෝරා ගන්නවා. නමුත් සංස්කෘතික සදාචාරයේ ගිලී සිටිනා සාම්ප්‍රදායික ගැහැණු මිනිසුන් එය කොන්දේසි විරහිතව විවේචනය කරනවා. එවිට ඇය ඇගේ ප්‍රකාශය මෙසේ කරනවා...
සදාචාරය හොයන , කබල් ගාන උන් (විනේ කටින උන්) මූණට තරහක් නොකියා හරි සුන්දර කතා කියනවා. මැරිච්ච මිනිහගෙ හොද නාමෙ අරක්ෂා කරගෙන ඉන්ඩලු. ඒවා හරියට කනේ කොහොඹ මිරිකනවා වගේ මිහිරියි. මමත් කැමතියි එහෙම ඉන්ඩ. ඒත් තුවාලය නැති උන් ඒ තුවාලේ වේදනාව දන්නෙ කොහොමද. (වනේ නැතිව උන් දුක දන්නේ කෝම...?)
තවදුරටත් ඉදිරියට යමින් ඇය ඉදිරිපත් කරන අදහස ඉතා හාස්‍ය ජනකයි. එය ලාංකීය නාම්මාත්‍රික සදාචාරවාදී වැඩිහිටි පරපුරට ගසන කමුල් පහරක් වැනියි.
තරුණ ළදක් වුවත් මං දිහා ගමේ ඉලංදාරි ඇහැක් ඇරලා බලන්නෙ නැහැ. උන් කරබාගෙන හිටියට මොකද විසේ ඉහට නැග්ග නාකි ටික රෑට මයෙ ගෙදර පිල උඩ. උන්ල ළග සල්ලි තියෙනවා. ඉදා නෙලා ගනින් කියලා උන් ඒවා පුදනවා. නමුත් නෙලා ගන්ට නිකං බෑ. රෙද්ද ගලවන්න ඕන. මිනිහ මතක් වෙද්දි සංස්කෘතික සීමාවන් මතක් වෙද්දි ඒක කරන්නත් බැහැ. හැබැයි දරුවන්ව ජීවත් කරන්නත් ඕන.
ඉනේ රෙද්දමයි හිටියේ පරහාට...කියල ඇය කියන්නෙ ඒ හිතේ තියෙන දෙගිඩියාව. ඊළග කොටසින් ඈ කරන ප්‍රකාශය අතිශයින් කම්පා සහගතයි. එලෙසම හැගීම්බරයි. බලන්න
මං කරන වැඩේ නරකයි කියන්න ගොඩක් අය ඉන්නවා. මගේ ළැමේ කිරට අඩන පැටවුන්ට අනේ වේලක් කන්න දෙන්න ඉන්නෙ කවුද..? ලිපේ ගිනි අවුලන්න ඕන දරුවන්ට කන්න දෙන්න. එහෙනම් මට මේක කරන්නත් ඕන. මහත්වරුනේ වරෙව්. ඇවිත් මගේ මේ කුණු කය වළදාපියව්.... (වරෙව් මහතුනේ කුණුකය වළදන්න)

අවසන් ප්‍රකාශයෙන් ඇගේ ආත්මානුකම්පාව පෙන්නුම් කරයි. සැමියා අහිමි දුප්පත් ගැහැණීයකගේ අසරණ භාවයද එවැනි ගැහැණුන් දෙස සමාජය බලන ආකාරයද සමාජයේ පවතින අවජාත සදාචාරවත් බවේ යතාර්ථයද හෙලි පෙහෙලි කල මෙම ගීතය ප්‍රදීපා ධර්මදාස විසින් කදුළු තොටුපල කියන ගීත ඇල්බමයට ගායනා කරන ලද්දක්. එහි පද රචනය වසන්ත පුෂ්ප කුමාර ගේ. සංගීතය රෝහණ වීරසිංහගේ.

✍ සටහන - සමන් එදිරිමුණී

✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜

විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්...
වනේ නැතිව උන් දුක දන්නේ කෝම...?

ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
නෙලා ගනින් යැයි කප්රැක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට....

ළැමේ කිරට මුර ගහනා පැටියන්ට
අනේ කවුද ඉන්නෙ වෙලක් දෙන්ට
ලිපේ ගින්නේ තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණුකය වළදන්ට....

ගායනය - ප්‍රදීපා ධර්මදාස
පද රචනය - වසන්ත පුෂ්පකුමාර
තනුව - රෝහණ වීරසිංහ

✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜✜
එන්න සුභාවිත සිංහල ගීතයේ රසය විදින්න...
හිත ගාව - (Hitha Gaawa)
 Like us!  Share us!
www.fb.com/HithaGaawa

Gee Sara 20.01.2013 Part 01



සෑම ඉරිදාවක ම උදෑසන 11 සිට විකාශය වන ‘ගී සර‘ වැඩසටහන ඔබත් සමහර විට නරඹා ඇති. මේ... නරඹන්නට නොහැකි වූ සුභාවිත ගීත රසික ඔබ වෙනුවෙන්. 

රස විදින්න... සුභාවිත ගීතය තුළින් සිතුම් පැතුම් වෙනස් කරගන්න...

මේ පාලු සීත රාත්‍රියේ - චන්ද්‍ර‍ලේඛා පෙරේරා



විටෙක මට මෙහෙම හිතෙනවා. මේ ගීතය නිදිවර්ජිත පිරිමියෙකුට මේ තරමට ම දැනෙනවා නම් තරුණියකගේ හිතට කොයි තරම් දැනෙනවා ඇතිද? 

ප්‍රේමයේ විරහව ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. මේ තවත් එක් ප්‍රේමවන්තියකගේ විරහවේ ගීතමය ප්‍රකාශනයක්. මොහොතක් හිතලා බලන්න. මේ ගීතය ඇතුළෙ මේ ප්‍රේමවන්තිය ඇගේ අහිමි වූ පෙම්වතාගෙ උනුහුම ආදරය බලාපොරොත්තු වෙන හැටි.

"මේ පාලු සීත රාත්‍රියේ
කියා දෙන්න රහසින්...
ප්‍රේමය නම් කිමැයි කියා...//"

සෙනෙහසත්, අනුරාගයත් එක්වුනු තැන බිහි වෙන්නෙ අතිශය සොඳුරු සංවාසයක්. නමුත් ඒ සොඳුරු සංවාසය ලබන්න මේ ප්‍රේමවන්තියට වරම් නැහැ. ඒත් අහිමි බව දැන උන්නත් හිතට දැනෙන හැඟීම් කොහොම පිටමං කරන්නද...?

මට දැනෙන හැටියට මේ ගීතයේ කිසිම වචනයක් අහක දැමිය යුතු තත්වයේ නැහැ. හැම වචනයකම වටිනාකමක් තියෙනවා.

"නිදිමත තරු කැට කඩා වටේ
ඉඩ දී අඳුරට අහස් තලේ
සඳ මල මිලිනව බලා හිඳී
දකින තුරා අඬ නුවන් අපේ
සඟවා ළය මත ඔබෙ වත රහසින්
කියා දෙන්න ළං වී...
ප්‍රේමය නම් කිමැයි කියා..."

ප්‍රේමවන්තිය කියන විදිහට නිදිමත තරු කැට අහස අඳුරට භාර කරලා කඩා වැටෙන්නේ ඇගෙයි ඔහුගෙයි සොඳුරු සුයාමයට ඉඩ දෙන්න වගේ. හේතුව, අඳුර කියන පාරිසරික සාධකය හරි අපූරුවට පෙම්වතුන්ගෙ හැඟීම් හා බද්ධ වෙලා තියෙන නිසා. සඳ මිලින වෙලා බලා ඉන්නේ මේ ප්‍රේමවන්තයින්ගෙ දෑස් අඬවන් වන තුරු.

හිතලා බලන්න දෑස් අඬවන් වීම කියන කාරණය ඇතුළෙ හරිම සියුම් විදිහට අනුරාගය ඉස්මතු කරලා තියෙන හැටි. ඒ හරහා රචකයා මේ තරුණියගෙ හිත අතිශය සියුම්ව කියවනවා.

'සඟවා ළය මත ඔබෙ වත රහසින්"

ගීතය තුළ සභ්‍යත්වය හොයන ඇතැම් විචාරකයින්ට නම් මේ වචන කිහිපය තවත් එක නිර්දය විවේචනයකට මඟ පෙන්වන්නක්. හේතුව, මේ පද කිහිපය හරහා රචකයා තරුණියගේ අනුරාගයේ උපරිමය ප්‍රකාශ කරන නිසා.

ඔබ මට දොස් නඟාවි. ගීතය ඇතුළෙ තියෙන අනුරාගය පමණක් උපුටා දක්වනවා කියලා. නැහැ. සරලවම කියනවා නම් සහ මට දැනෙන හැටියට අනුරාගය සහ කාමය කියන කාරණා දෙක අතර විශාල වෙනසක් තියෙනවා. මං මේ කතා කරන්නෙ අතිශය සොඳුරු අනුරාගය ගැන.

තරුණිය නැවත නැවතත් උත්සාහ ගන්නවා ඇගේ සිත සනසා ගන්න. ඒ නිසයි ඇය කියන්නෙ මුළු පරිසරයම පෙම්වතුන් දෙදෙනාගේ එක්වීම අපේක්ෂා කරන බව. පවන් රොදක සිසිලස පවා නොලබා ගහකොල නිසලව බලා ඉන්නවා. පවන් රොදක සිසිලස ලබන්න තරම් ගහ කොලට හිතක් නෑ. ගහකොලත් බල ඉන්නෙ ඒ සොඳුරු මොහොත එළඹෙන තුරු.

ගීතයේ එක තැනක රචකයා හරි අපූරු දෙයක් කියනවා.

"පිණි කඳුළැලි කැට කඩා වැටේ
ඇසෙන තුරා පෙම් වදන් අපේ"

බලන්න... රාත්‍රියේ වැටෙන පිණි කැට පවා ඇය දකින්නෙ කඳුළු විදිහට. ඇගේ දෙනෙතින් පවා මේ මොහොතේ කඳුළු ගලනවා.ඒ පිණි පවා, මේ කඳුළු පවා බලා ඉන්නෙ දෙදෙනාගෙ පෙම් වදන් ඇසෙන තුරු.

අවසාන වශයෙන් මං ඔබට මෙහෙම කියන්නම්.

"සුසුමක් සුසුමට ලං කර රහසින්
කියා දෙන්න ළං වී...
ප්‍රේමය නම් මෙයැයි කියා..."

නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ

ප්‍රථම ‍ප්‍රේමයේ කඳුළු බිංදුව 

ප්‍රථම - පළමු - පළවැනි හැමදේම අපූර්ව දෙයක් විදියට සලකන්නට මනුෂ්‍යත්වය අපට පුරුදු කරවා ඇත. හැමදේකින් ම ප්‍රථමයා වන්නට අප බොහොමත් කැමැති ය.

ප්‍රථමයා ලකුණු සියයක් ලබා හිනා සෙනවිට අන්තිමයා ‘ඕඩ්ඩා’ ලෙස සරදම් ලබා හඬා වැටෙයි.

ජිවිතය නමැති තක්සලාවේදී ද අපට මේ පාඩම් - දඬුවම් හරි හරියට ලැබෙන්නේ ය. ජීවිතයේ ප්‍රථම වරට අපට ආදරයේ නියාමය කියා දෙන්නේ තාත්තා ය. අම්මා ඒ ආදරය ප්‍රායෝගික කරන්නීය.

ක්‍රම ක්‍රමයෙන් යොවුන් වියට එළැඹෙන විට අම්මාගේ - තාත්තාගේ - ආච්චිලා සීයලාගේ - අයියා අක්කලාගේ ආදරය බිංදුවට බස්සමින් කවුදෝ කෙනෙක් ‘දේවතා එළියක්’ අරගෙන එයි. මේ අමුත්තා හෝ අමුත්තිය දුරස්ථ කෙනකු ලෙස නොපෙනෙයි.

සංසාරේ කොහේදී හෝ හමුවෙලා ඇති බවක් ම පෙනෙයි. ඔහු හෝ ඇය ඒ ගෙනෙන්නේ ආදරයේ දේවතා එළියයි! ඉක්බිති...

ඒ ප්‍රේමයට ලකුණු සියය ගත්තෝ දිනති. ලකුණු බිංදුව ගත්තෝ ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුවත් අරගෙන එකම බෝට්ටුවකට ගොඩවෙති.

මේ ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුව කෙතරම් බරද කිව්වොත් මියෙන තුරාම එය බිම තැබෙන්නේ නැත. නමුත් මේ කඳුළු බිංදුව ට හැබෑ වටිනාකමක් දී ජීවිතය ජය ගැනීමට පන්නරය ලබා ගත්තෝ නම් බොහොමය.

ඒ නිසා ම ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුව අති සුන්දර වටිනා දෙයකි. ඒ නිසා ම එය කවියන්ගේ ගීත රචකයන්ගේ නොසිඳෙන - නොසන්සිඳෙන පන්හිදවලට ඇතුළු වී රදා උල්පත් මවා පාදා දී සිත්සතන් ආලෝලනය කරවයි. ලෝකයම සුන්දර තැනක් කරවයි.

නින්ද නැති රැයේ
සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද
ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී
නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි
රෝස පෙති කඩා හැලේ

කිළිපොළා සැලී යමින්
නොහිටි සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා
ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ
සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී
යා යුතුව තිබේ

රැය ගෙවේ සඳත් නිවේ
දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ
පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා
මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි
සොඳුර ඒ මගේ


පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය, ගායනය - විශාරද ගුණදාස කපුගේ

මේ ද ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුවකි. ප්‍රේමය යනු හුදෙක් හැඟීමක් මිස ක්‍රියාවක් නොවේ යැයි මට සිතෙයි. ප්‍රේමය ඉබේ හටගන්නවා මිස හටගන්වන්ට බැරි නිසා ය. ක්‍රියාත්මකවීම් සිදුවන්නේ පසුව ය. මුලින් ම හැඟීම ය. ‘ප්‍රේමතෝ ජායතී සොකෝ’ එය නිර්මල බුද්ධ වචනයයි. ප්‍රේමය නිසා ශෝකය උපදී. මේ ප්‍රේමය සම්මත ද අසම්මත ද යන්න ප්‍රේමයට අදාළ නැත. ඒ මුලින් ම හැඟීම ද බැඳීම ද පමණක් ඇතිවන නිසා ය.

නමුත් ප්‍රේමය අසම්මත වූ විට දෙන ශෝකය තවත් තීව්‍ර වෙයි. ඒ එහි ස්වභාවයයි. නින්ද නැති රාත්‍රියේ සඳ හඬයි. ඒ කඳුළු මීදුමක් හදයි. ප්‍රථම ප්‍රේමය හඬා වැටෙයි. කඳුළු මීදුම නිසා සදේ එළිය පෙනෙන්නේ නැත. පෙනෙන්නේ තරු එළියක් විතර ය. ඒ තරුත් දියට වැටී තාරකා නිල් එළිය ද නිවී යයි.

කඳුළු බිංදු වැහි බිංදු වී කඩා වැටෙයි. රෝස පෙති කඩා හැලෙයි. ප්‍රථම ප්‍රේමයේ කඳුළින් දෙතොල් තෙමී යයි. ජීවිතයේ හුදෙකලා පාළු තනිකම් සීතල ඔබේ උණුසුමට පවරා දී රාත්‍රියට සිහින දකින්නට ඉඩ හරිමි. හෙට උදේ ම අවදි වී මා යා යුතුමය. ඒ මට රැඳීමට අයිතියක් නැති හෙයිනි.

මේ ප්‍රේමයේ අසම්මත ස්වභාවයක ඉඟිය රචකයා අපට පහදන්නේ ඒ පදයෙනි. රාත්‍රියට ළං වී උදෑසනේ දී නික්ම යන සිහිනයක ගැලී සොයාගත හැකි තිර සතුටක් නම් නැත්තේ ය. මේ හිමි නොවීම තුළ ඇතිවන ‘බන්ධනය’ දැඩි නිසා ම හමුවන්නට බැරිවීම තුළ ඇති ‘වේදනා දණ්ඩනය’ ද වැඩිවෙයි.

රෑ ගෙවී යයි. සඳත් නිවී යයි. ජීවිතේ දුරස්වෙයි. හංසයා සිය තුඬු පියුම් කැකුළත ගටා පියුම් පුබුදුවන්නාසේ මම ජීවිතයේ දුක් කම්කටොලු වියවුල් නමැති කටු පොකුර සිප මලක් පුබුදුවමි. මේ මගේ එකම හාදුව ය. ප්‍රථම හාදුවය. අලුත්ම හාදුව ය.

ප්‍රේමය පිළිබඳ මනරංජන සිතුවමක් මැවූ මේ ගීතයේ නිර්මාපක රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගැන පැවසුවේ මෙයයි. “මේ ගීතය මා මුල් ම කාලයේ ලියූ ගීතයක්. අසූ තුනේ විතර කාලෙදි... ප්‍රේමයේ ශෝකය දනවන විදියට ලියැවුණු එම ගීය මා නම් කළේ ‘ප්‍රථම ප්‍රේම සිහිනය’ නමින්. අවසානයට එන පදවල එන ‘කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ’ කියා කොටස ඇත්තටම මගේ ‘වස්සානේ’ කෘතියේ මා ලියූ ‘කටු පොකුර - සිපගතිමි හෙට මලක් වනු පිණිස’ කියන අරුතමයි ඇතුළත් කළේ... ගීතය සංගීතවත් කොට ගැයුවේ විශාරද ගුණදාස කපුගේ ශූරීන් ය.

ඉතින්... ජීවිතයේ දුක්කම්කටොලු දරිද්‍රතාව කලාකරුවන් ආදරයෙන් සිපගත්තේ ජීවිතය ජය ගැනීමේ බලාපොරොත්තුවෙනි. මල් නැති කටු පඳුරු මත හාදූවක් තබන්නේ හෙට දවසේ මලක් පූදීවා යන ප්‍රාර්ථනයෙන් නිසාම ඒ මල්වල සුවඳ අපට ද ජීවිතය මේ යැයි හදවත පතුලටම දනවන්නේ ය.

- යමුනා මාලිනි පෙරේරා -

ප්‍රේමය පුදදී අවසානයි - චාමර වීරසිංහ සමඟ රාජිකා

අද කියන්න යන්නෙ ටිකක් විතර අමුතු, මෑත කාලයේ 'වෙනස් කතා තේමාවක්' රැගත් අතිශය ජනප්‍රිය වුණු ගීතයක් ගැන. චාමර වීරසිංහලව, දමිත් අසංකලාව 'මේ අපේ පරම්පරාවයි' කියලා කියාගත්තු කොට්ඨාශයක් සැලකුවේ පීචං ගායකයෝ විදිහට. කොහොම වුණත් ප්‍රවීණ ගායක ගායිකාවන්ගෙ පවා මේ ගායකයින් ගැන පැහැදීමක් තිබුණෙ නෑ. ඒත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි, චාමරලත් සුභාවිත ගීත ගායනා කරලා තියෙන වග. අද මේ කතා කරන්න යන්නෙත් ඒ වගේ ගීතයක් ගැන.

-------------------------------
තවත් එක ප්‍රේමයක්. වරද කාගේ වුණත් ඇය ඔහුගෙ ආදරයට පිටුපාලා වෙනත් තරුණයෙකු විවාහ කරගන්නවා. තමන්ට පිටුපාලා ගිය ඇයව හොයාගෙන ඔහු ඇගේ වත්මන් කැදැල්ලට යනවා. අතිශය සුන්දරයි මේ හමුවීම. හේතුව, ලෝකය අසම්මතයි කියන සමහර හමුවීම් ඇතුළෙ අමුම අමු සුන්දරකමක් තියෙන නිසා.

බැලූ බැල්මට මේ ගීතයේ කතානායකයා මේ කියන කතාව ඇතුළෙ ඔහු මේ කරන්නෙ 'තහනම් ගහේ ගෙඩි කෑමක්ද' කියන සාධාරණ සැකය අපිට මතුවෙනවා. සරලවම කිව්වොත් ඒ සැකය පවා අතිශය සොඳුරුයි.

කොහොම වුණත් කාලයකට පස්සෙ තමන්ගෙ පරණ පෙම්වතියව හමු වුණ මේ පෙම්වතාට මේ තහනම් සෙවණට සමු දෙන්න හිත දෙන්නෙ නෑ. ඔබත් පොඩ්ඩක් හිතලා බලන්න. කාලයක් ආදරෙන් හිටපු හිතක් අහම්බෙන් හෝ යළි හමු වුණාම අපි හැමෝම උත්සාහ කරන්නෙ තව තත්පරයක් හෝ ඒ හිත යට ඇලවිලා ඉන්න. එහෙම නේද?

'තහනම් සෙවනෙන් යන්න' කියලා මේ පරණ පෙම්වතිය කිව්වත් ඇය පවා එහෙම කියන්නෙ හිතකින් නොවන වග මට හිතෙනවා. අර කතාවක් තියෙනවානෙ 'අළුත් ආදරේට වඩා පරණ ආදරේ සුවඳයි' කියලා. ඇයටත් එහෙම දැනෙනවා ඇති.

------------------------------------------
එහෙනම් අහලම බලන්න. දැහැන්ගත වෙලා.

සහෘදය, අසම්මතය හරි රහයි.

████████████████████████
ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි...
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න...

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි...
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න...

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්...//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න

ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න...

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්...//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න

වත ගෙන යන්නම් දුරට
සිතනම් බැහැ ගෙන යන්න...

·································································
ගායනය : චාමර වීරසිංහ සමඟ රාජිකා

www.youtube.com/watch?v=cVwlY4e3OrM

♫♫ NO MUSIC = NO LIFE ♫♫ - Hitha Gaawa SPECIAL

සිංහල ගීතය - කුමාරදාස සපුතන්ත්‍රී විසිනි. 

සිංහල ගීතයේ දක්නට ලැබෙන ආකෘති තුනක් වේ.
1. ගී
2. සිවුපද
3. සැහැලි යනු ඒවායි.

සියබස් ලකරේ පටන්, සීගිරි ගී ද ඇතුළු ව , පැරණි යුගයේ ලියැවුණු ගී කාව්‍ය, ගී විරිත් ආකෘතියෙන් බැදුණේ ය. සිංහල කාව්‍ය වංශයේ මුදුන් මල් කඩ වන් කව්සිළුමිණි මහා කාව ද බැදුණේ ගීයෙනි. යා ගී, දුවඟ ගී, යොත් මත් වැල් ගී, බමර ගී, තාරිකා ගී ආදී ගී විරිත් රැසකි. මේ ගී විරිත් නූතනයේ දී ගායනයෙන් බැහැර ව තිබුණ ද අතීතයේ දී රසවත් ව ගැයුණා විය හැකි ය.

ගම්පොළ යුගයේදී නැතහොත් ඒ ආසන්නයේ දී පද්‍යය ගීයෙන් සිවුපදයට හැරිණි. කෝට්ටේ යුගය වන විට එහි උපරිම සංවර්ධන ලක්ෂණ සිවුපද ආකෘතිය තුළ පිළිබිඹු කරන්නට අපේ කීහු සමත් වූහ. ඉක්බිතිව මාතර යුගයේ දී සිලෝ විරිත් භාවිතයට ගැනුණු නමුත් එය වඩාත් ප්‍රචලිත වූයේ නැත. කොළඹ කවි යුගයේ දී බහුලව උපයෝගී කරගන්නා ලද්දේ ද සිවුපද ආකෘතිය යි. ඉනුදු, "දෙසෙන් අටෙන් යති - අටළොස් මතින් බැදුණේ" යනුවෙන් එළු සදැස් ලකුණෙන් හදුන්වා දුන් සමුද්‍ර ඝෝෂ වෘත්තයයි, කොළඹ කවීන් සිය අනුභූතීන් හි හැඩ රුව නිමහම් කිරීමට වැඩිපුර ම යොදාගන්නා ලද්දේ.

සමාජ සංකීර්ණත්වය, බුද්ධිමය ප්‍රවණතා පුළුල්වීම, සම්මත සදැසේ ඇතැම් සීමා බන්ධන, වචන කෝෂයේ සීමිත බව ආදී හේතූන් මත “නිසදැස් කවිය“ බිහිවිණැයි අනතුරුව විචාරකයින් විසින් හේතු සම්පාදනය කැරුණේ, කොළඹ යුගයේ කවියෙහි දුබලතා ජයගන්නට බිහි කැරුණු නව නිසදැස් කාව්‍ය සම්ප්‍රදාය හදුන්වා දෙමිනි.

සැබැවින්ම එසේ බිහිවූ නිසදැස් කාව්‍යය, නිසදැස් කාව්‍යයක් ම වූයේ ඇයි? නිසදැස් නමින් ඒ රචනා හදුන්වන්නට සුදුසු “නිර්ඡන්දය“ ලක්ෂණය කොතෙක් දුරට එම කාව්‍යයන්ගෙන් ප්‍රකට වේද? මේ පිළිබද කරුණු කිහිපයක් ලුහුඬින් සාකච්ඡා කිරිම වැදගත් ය.

------------------------------------------
නිසදැස් කවි, සදැස් කවි ගැන තවදුරටත් දැනගන්න කැමති ද?
එසේ නම් මේ ලිපියේ මීලඟ කොටසින් හමුවෙමු!

මේ හිත ගාව පිටුවෙන් ඔබට පිදෙන තවත් වෙනසක්.
~ එක්වන්න අප සම්ඟ ~
හිත ගාව - (Hitha Gaawa)

සුවඳ දෙන මල් වනේ - රූකාන්ත

අද කතා කරන්න හදන්නෙ තවත් එක සුවිශේෂී ගීතයක් ගැන. සංගීතය ඉගෙන ගනිද්දි ඔබත් අහලා ඇති 'ගාන සමය' ගැන. එහෙමත් නැත්නම් කිසියම් ගීතයක්/රාගයක් ගායනා කිරීමට සුදුසුම වේලාව ගැන. මම විශ්වාස කරන විදිහට නම් මේ ගීතය අහන්න වගේම ගයන්නත් හොඳම වෙලාව තමයි අඳුර ගලා එන, පුර හඳ පායන රාත්‍රිය. ඔබත් හිතින් මවා ගන්න එහෙම රාත්‍රියක්.

වෙන්වීම කියන්නෙ හිතකට හිතන්න ගොඩාක් දේවල් ඉතිරි කරන දෙයක්. පණ තියෙන මිනිස්සු ආදරේදි හදවතින් වෙන්වෙනවා. ඒ වගේම භෞතිකවත් වෙන්වෙනවා. මේ කතා කරන්නෙ භෞතිකව වෙන් වීමක් ගැන.

තමන්ගෙ සැමියා මිය ගිය බිරිඳකට දැනෙන දුක සහ හැඟීම් ගැන අපිට පිටස්තරයෝ විදිහට සාධාරණ නිගමනයකට එන්න බෑ. ඒත් අපි දන්නවා ඒවා ගොඩාක් දුක හිතෙන සිතුවිලි කියලා.

"මේ නුරා සැඳෑ සමේ සෝ සුසුම් හෙලා..."

සරලවම කියනවා නම් අනුරාගය හරිම මිහිරියි. ඒත් වියෝ වීමක් එක්ක ගෑවුණු අනුරාගය අතිශය වේදනාකාරීයි. සමහරවිට ඒක සැමියා මිය ගිය කාන්තාවකට දැනෙන හැටි ගැන අපිට හිතාගන්නවත් බෑ. සැමියා ගැන හිතේ තියෙන ආදරයත්, අනුරාගයත් එකට එකතු වුණාම ඒක අතිශය ප්‍රබල විදිහට හදවත පසාරු කරන, රිද්දන හැඟීමක් බවට පත් වෙනවා. මඳ අඳුර පවා යලි යලිත් අත වනන්නෙ ඒ වගේ සිතුවිලි වලටමයි.

------
ඇය ඈත අහසේ තාරකා දිහා බලාන ඉන්නවා. සිත සහ ගත හොයන්නෙ තමන්ගෙන් වියෝ වුණු සැමියාව. ආයෙත් කවදා තමන්ව හොයාගෙන සැමියා ඒවිද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් වෙනුවට ලැබෙන්නෙ ඉකි බිඳුමක්, හැඬුමක්!

"සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා...
ඔබේ ළමැඳේ සෙනේ මැඳුරේ සුසුම් නැඟිලා..."

----------------------------------------------------
මේ ගීතයේ අර්ථය තරමක් විවාද සම්පන්නයි. සමහර විට මේ ගීතයේ කතානායකයා අර මුලින් කී කාන්තාවගෙ වර්තමාන සැමියා වෙන්න පුළුවන්. මොකද මේ ගීතයේ අග බාගය පුරාවටම කතානායකයා තමන්ගෙ වචන මෙහෙයවන්නෙ ඇයට ලෝකයේ අනිත්‍ය ගැන කියලා සනසවන්න.

ඔබ පොඩ්ඩක් හිතලා බලලා රස විඳින්න අදහස් පල කරන්න...!

████████████████████████

සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා...
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
ඔබේ ළමැඳේ සෙනේ මැඳුරේ සුසුම් නැඟිලා
සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා...
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා

මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තාරකා දිහා නිල් නුවන් යොමා...
ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා...
නෑ පලේ තැවී හඬා වේදනා දරා
වේදනා දරා...

මේ ලොවේ දිනූ අපේ ජීවිතේ කෙටියි
කාලයේ රහස් වසා ජීවිතේ ගලයි...
මේ කුලුත් පියාසලා කුලින් කුලේ රැඳෙයි...
ආදරේ අමා හැඟුම් මා සිතේ නැඟෙයි
මා සිතේ නැඟෙයි...

·································································
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය සහ ගායනය : රූකාන්ත ගුණතිලක

කේ.ඩී.කේ.ධර්මවර්ධන

මිල්ටන්ගේ-කේ. ඩී. කේ. ගේ සොහොන් කොත් එක ළඟ හැදුවේ දෙදෙනාගේ මිත්‍රත්වය නිසයි.
- සමදරා කෝට්ටගේ

2000 නොවැම්බර් හය වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙලොවින් සදහටම සමුගෙන ගිය ඔහු කළුආරච්චිගේ දොන් කුමාරසිරි ධර්මවර්ධන ය. අප කවුරුත් දන්නා හඳුනන පරිදි නම් ඔහු කේ. ඩී. කේ. ධර්මවර්ධන ය.

දක්ෂ, ජනපි‍්‍රය ගී පද රචකයකු මෙන්ම විද්‍යුත් මාධ්‍යවේදියකු ද ව සිටි කේ. ඩී. කේ. අපෙන් වියෝ වී අදට හරියටම වසර එකොළහකි. සිය අමිල මෙහෙවර උදෙසා කිසිදා බුහුමන් නොලද විශිෂ්ට කලාකරුවකු වන කේ. ඩී. කේ. අද බොහෝ දෙනකු හට අමතක වී ගොස් ඇති සේය. එහෙත් ජීවන ගමන් මඟෙහි ඔහුගේ සහකාරිය වී රැඳී සිටි සමදරා කෝට්ටගේ වන ඇයට නම් කේ. ඩී. කේ. පිළිබඳ මතක අමතක නොවන්නාක් මෙන්ය. සමදරා අවදි කළ කේ. ඩී. කේ. පිළිබඳ මතක සැමරුම් ඇසුරෙන් ලියැවෙන ලිපියකි මේ.

කේ. ඩී. කේ. ගේ වෘත්තීය ජීවිතය පිළිබඳ කියනවා නම්...? 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහකාර පුස්තකාල කළමනාකරු ලෙස තමා කේ. ඩී. කේ. මුලින්ම ඔහුගේ වෘත්තිය ජීවිතය අරඹා තියෙන්නේ. ඒ අතර එකල පළ වූ ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ ලේඛකයකු ලෙස ද කටයුතු කර ඇති කේ. ඩී. කේ. පසුව සිය පුස්තකාල කළමනාකාර රැකියාව සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට මාරුවීමක් ලබාගෙන පැමිණෙන්නේ ගුවන් විදුලියට සම්බන්ධ වීමට වැඩිපුර අවස්ථාව ලබා ගැනීමට ය.

1967 දී ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස සේවයට එක් වී පසුව තැටි ගබඩා භාරකරු, වාචික වැඩ සටහන් පාලක, සිටි එෆ්. එම්. පාලක වශයෙන් විවිධ තනතුරු දරා ඇති කේ. ඩී. කේ. අවසාන කාලයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ‘උම්අල්ක්වේන්’ ගුවන් විදුලියේ සිංහල වැඩ සටහන් භාර ප්‍රධානියා ලෙස කටයුතු කරමින් උන්නා.

කේ. ඩී. කේ. රට හැර ගියේ ඇයි? 

කලකිරීම නිසා. විශේෂයෙන්ම එවකට සේවා ස්ථානයේ ඇති වූ ප්‍රශ්න කිහිපයක් නිසා කේ. ඩි. කේ. පුදුමාකාර කලකිරීමකින් උන්නේ. ගුවන් විදුලියේ වහල යටයි අපේ ජීවිතවල වැඩි කාලයක් ගත වී ගොස් තියෙන්නේ. අපි අපේ ගෙවල්වල ගත කර ඇති කාලය ඉතාම ටිකයි. ඉතින් එහෙම වුණාම ප්‍රශ්න නිසා කලකිරීම් ඇති වීම පුදුම වෙන්න කාරණයකුත් නෙමේ. ජීවිත කාලයෙන් වැඩි කාලයක් කැප කළ සේවා ස්ථානය ගැන කලකිරුණාම කේ. ඩී. කේ. ට මේ රටේ ඉන්න එකත් වදයක් වගේ වුණා. ඒ හින්දයි ඔහු රට හැර ගියේ.

ගී පද රචකයකු ලෙස කේ. ඩී. කේ. සතු වූ ප්‍රතිභාව පිළිබඳ ඔබට හැඟෙන්නේ කෙසේ ද?

කේ. ඩී. කේ. සතුව පැවති ප්‍රතිභාව ඔහුට සහජයෙන්ම උරුම වූ අසාමාන්‍ය ප්‍රතිභාවක් ලෙසයි මට හැඟෙන්නේ. සහජයෙන් ගී පද රචකයකු වුණා වගේම මහනුවර ධර්මරාජ විදුහලෙන් මල්වතු විහාරයේ වෑඋඩ දේවමිත්‍ර නායක ස්වාමින් වහන්සේගෙන් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා හැදෑරීමෙන් උපමා රූපක යොදමින් බස හැසිරවීමට ද කේ. ඩී. කේ. වඩාත් පරිණත වී තිබෙනවා. පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් අතර වෙනස තේරුම් අරගෙන සාර්ථකව නිර්මාණකරණයේ නියැලෙන්න කේ. ඩී. කේ. ට පුළුවන් වුණේ භාෂා පිළිබඳ ඔහු සතු එම පරිණතභාවය නිසා යි.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැයු “මහ වැස්සක පෙර නිමිති” (මා දැන් මහලු වියේ), කුමරියක පා සළඹ විජේරත්න වරකාගොඩ ගැයූ“මිහිරි සිහිනයක දැවටුණු” ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැයු “දිනෙක හිරු බැස යන” - “නීල බිඟු කැල” - “හෝපලු වන පෙත” - “සඳ හිරු පවතින තුරු” - “අපි උදේ ගිහිල්ලා” වැනි හැත්තෑවේ දශකයේ වඩාත් ජනපි‍්‍රය වූ ගීත සංකල්පනාවන්ගේ හිමිකාරයා කේ. ඩී. කේ. වූ අතර වර්තමානයේ ගීතලෝලීන් අතර ද ආදරය දිනා ඇති “මගෙ හිත වෙනතක” - “සතුටු සුළං රැලි” - “කවුදෝ කවුදෝ” (ඉන්ද්‍රානි පෙරේරා) - “ආදර සීනුව“ - “රනින් මාල” (ග්‍රේෂන් ආනන්ද) - “රන් මී විත පුරවා” - “මා සනසා” - “නිලුපුල් යුවළේ” (මර්වින් පෙරේරා) - “ඇගේ සිනහව තහනම්” - “ගම මහනුවරයි” (චන්ද්‍රකුමාර් කඳනආරච්චි) - “රිදී නිම්නය කඳුළු නිම්නය” (බන්දුල විජේවීර) - “සුරඟන වෙස් වළා” (ගෝල්ඩන් චයිම්ස්) - “බිඟු බමා බමා” - “ඔබට සිත ආදරේ කරයි” (දයාරත්න පෙරේරා) - “සුවඳ දෙන මල් වනේ” (රූකාන්ත ගුණතිලක) වැනි ගීත දෙදහසක් පමණ ඔහුගේ ගී පද සරණියේ ඇතුළත් ය. මෙහිදී අපට අමතක කළ නොහැකි දායකත්වයක් කේ. ඩී. කේ. ධර්මවර්ධන නමැති ගී පද රචකයාට ලැබී ඇත්තේ මිල්ටන් මල්ලවආරච්චි ගායන ශිල්පියාණන්ගෙන් ය. කේ. ඩී. කේ. මුලින්ම ගී පද රචකයකු වන්නේ ද මිල්ටන්ගේ ඇරියුමින් ය. ඒ පිළිබඳව සමදරාගේ මතකය අවදි වූවේ මෙසේ ය.

“කේ. ඩී. කේ. ගේ නිවේදන කලාවට බෙහෙවින්ම කැමැති කෙනෙකු තමා මිල්ටන්. ඒ වගේම ඔවුන් දෙන්නා හොඳ මිතුරෝ. ගීත ලියන්න කේ. ඩී. කේ. ට මුලින්ම ආරාධනා කර තියෙන්නේ මිල්ටන්මයි. ඒ අනුව මිල්ටන්ට ලියූ “ආදරයේ මිහිර රැඳී” ගීතය කේ. ඩී. කේ. ගේ මුල්ම ගී පද රචනය වුණා. එකල එය එතරම්ම සාර්ථක ගීතයක් නොවුණු නිසා ගී පද රචනයට කේ. ඩී. කේ. උදාසීන වෙලා ටික කාලයක් ඉන්න කොට මිල්ටන් නැවතත් බලකර තියෙනවා ඔහුට ගීතයක් ලියන්න කියලා. ඒ නිසා ලියු “දෙඅදර විලිකුන් සුරත් පලේ” ගීතය සාර්ථක නිර්මාණයක් වීමත් සමඟ තමයි කේ. ඩී. කේ. සෘජුවම ගී පද රචනයට පිවිසී තියෙන්නේ.”

මිල්ටන් කේ. ඩී. කේ. සුසංයෝගයෙන් නිර්මාණ වූ ගීත පිළිබඳ ඔබේ මතකය පවසනවා නම්...?

මිල්ටන්ට කේ. ඩී. කේ. ගීත සිය ගණනක් ලියා තියෙනවා. මිල්ටන් ගැයූ “රණබර ඉඳුඳුණු සිතුවම් වෙලා” - “සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්” - “මා හා එදා පි‍්‍රය සාදයේ” - “සයුරු තෙරේදී” - “මට මෙන් ඔහුට ද කඳුළ ඔබයි” - “උපුල් කොපුල් වෙහෙසී ඇතේ” - “රන්මසු නැහැ කියා” - “ඉවුරු තලා ගංඟා බැස යනවා” - “සිටු කුමාරියේ ඔබේ සිනා සඳළු තලාවේ” - “කෙසේ කියන්නද ඔබ මා අතහැර” - “නිරතුරු ඔබ ගැනම සිතන්නෙමි” වැනි ගීත ගණනාවක්ම පද රචනා කේ. ඩී. කේ. ගේයි. මිල්ටන්ට ලියු අවසාන ගීතය “වීණා බිඟු වීණා” ගීතයත් සැබෑ අත්දැකීමක් ඇසුරෙන් ලියු ගීතයක් බව කේ. ඩී. කේ. කියලා තියෙනවා. කඳුකර ප්‍රදේශයක දී රාත්‍රි සාදයකදී හමුවූ යුවතියක් සම්බන්ධ ඒ අත්දැකීම කේ. ඩී. කේ. ට කියලා තියෙන්නේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයි.

කේ. ඩී. කේ. ගේ සමීපතම හිතවතුන් වුණේ කවුරුන් ද? 

මිල්ටන්, වික්ටර්, චන්ද්‍රකුමාර්, මර්වින්, විජය කුමාරතුංග සහ දයාරත්න පෙරේරා තමයි කේ. ඩී. කේ. ගේ සමීපතම හිතවතුන්ව උන්නේ. ඒ අයගෙන් මිල්ටන් කේ. ඩී. කේ ට පුදුමාකාර මිත්‍රත්වයක් ආදරයක් තිබුණු හිතවතෙක්. මිල්ටන් කේ. ඩී. කේ. ව ඇමතුවේ ‘ධර්මේ’ කියලා. අසනීප වෙලා නවලෝක රෝහලේ ඉන්න කොට මිල්ටන්ව බලන්න කේ. ඩී. කේ. සමඟ මමත් ගියා. ඒ වෙලාවේ මිල්ටන් කේ. ඩී. කේ. ගේ අත්දෙක අල්ලාගෙන ඇඬුවා. මිල්ටන්ගේ ඇස් දෙකෙන් කඳුළු ගලා ගෙන ඇවිත් කේ. ඩී. කේ. ගේ අත්දෙක තෙමුණා. කනත්තේ මිල්ටන්ගේ සොහොන ළඟින්ම කේ. ඩී. කේ. ගේ සොහොනත් මම හැදුවේ දෙදෙනාගේ ඒ මිත්‍රත්වය හින්දාමයි. ඒ වගේම දෙදෙනාගේම සොහොන් කොත්වල සඳහන් කරලා තියෙන්නේ එක සමාන ගීත සරණියක් බවත් එහි යන කාට වුණත් දකින්න පුළුවන්.

- ජෝජ් රොබ්සන් ද සිල්වා -

උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත

එන්න... මේ සුභාවිත ගීත හරහා තාරුණ්‍යයේ සිතුම් පැතුම් වෙනස් කරන්නට කාලයයි...!

උපතේ ඉඳන් මැරෙනකල් ම ඒ ඒ අවස්ථාවලදි අඬන්න, සිනාසෙන්න, ඒ ඒ අවස්ථාව වඩාත් කලාත්මක විදිහට රස විඳින්න පුළුවන් ගීත සාහිත්‍යයක් අපිට තියෙනවා. සතුටු වෙන්න ඒ ගැන! එහෙව් මහා විශාල හරබර ගීත රාශියක් පොත් පිටු අතරේ, කැසට් පටවල, සීඩී තැටිවල, පරිගණකවල තියාගෙන අපි මොකට හිස් වෙච්ච මනසින්, බොල් හැඟීමකින් ඒ ඒ අවස්ථාවට මුහුණ දෙනවද? නේද?

සිහියේ තියාගන්න. සිංදු අහන එක, කියවන එක සහ සිංදු රස විඳීම එහෙමත් නැත්නම් හදවතින්ම කියවීම කියන්නෙ කාරණා දෙකක්. අපේ කාලයේ තරුණ තරුණියෝ 'සුභාවිත ගීත' කියන ලේබල් ගහපු ගීත කුලකය 'කියවපු' හැටි වැරදියි. අපේ පරපුර අමරදේව ව කියෙව්වා වැරදියි. නන්දා මාලිනීව කියෙව්වා වැරදියි.

අමරදේවගෙ සිංදුවක් ඇහෙද්දි "අපෝ... නින්ද යනවා" කියන අය ආදරයෙදි පැරදිලා අමරදේවගෙම "විකසිත පෙම් පොකුරු පියුම්" ගීතය සවනින් නෙමෙයි - හදවතින් - අහනවා නම් අපේ මේ සොඳුරු ව්‍යායාමය අතිශය සාර්ථකයි.

අරමුණක්, දැක්මක්, ජවයක් නැතුව හිටපු අපේ තරුණ පරපුරට නන්දා මාලිනියගෙ "යදමින් බැඳ විලංගු ලා" ගීතය ඇහෙද්දි ලේ රත් වෙනවා නම්, විප්ලවීය මානසිකත්වයක් ඇති වෙනවා නම් අන්න අපි දිනුම්...!

තේරුම් ගන්න! ගීතවලට ඇබ්බැහි වීම කියන්නෙ පිස්සුවක්. ඒ වගේම සුභාවිත ගීත වලට ඇබ්බැහි වීම කියන්නෙ අතිශය සොඳුරු පිස්සුවක්!

අපි කතා කරමු... මේ දෙවැනි ඇරඹුම පමණයි...!

එන්න... මේ සුභාවිත ගීත හරහා තාරුණ්‍යයේ සිතුම් පැතුම් වෙනස් කරන්නට කාලයයි...!

●●● Like & Share us! ●●● ░ http://www.facebook.com/HithaGaawa ░

නෙතින් නෙත බලාලා - රෝහණ බෝගොඩ

මේ ගීතය ඇහෙද්දි දැනෙන හැඟීම විස්තර කරගන්න හරිම අමාරුයි. හේතුව, මේ ගීතය දැනෙන්නෙ අපේ හිතට විතරක් නෙවෙයි හදවතට නිසා. ඒක මහ පුදුමාකාර ගීතයක්.

ආදර සම්බන්ධයක කෙලවර හෙවත් වෙන්වීම ඇතුලෙ අමුතු 'පට්ට රසයක්' තියෙනවා. ඒ රසය අපිට ඕනෙ ඕනෙ විදිහට රස කර කර - විඳගන්න නෙවෙයි - විඳවන්න පුළුවන්. සරලවම කිව්වොත් අපි කවුරුත් ඒ විරහ දුකට හරි ආසයි. ඒ පපුවටම දැනෙන නිසා.

මේ තවත් එක වෙන්වීමක්. දිගු කාලයක් තිස්සෙ හරිම ආදරයෙන් ගලාගෙන ගියපු අතිශය සුන්දර ආදර කතාවක්. ඒත් ගොඩක් ආදර කතාවල වගේ මේ තරුණයා මේ තරුණියට කොච්චර ආදරේ කළත් මේ තරුණියව තමන්ට අහිමි බව මේ තරුණයා වටහා ගන්නවා. අහිමි බව දැන දැනත් පෙම් කරලා හිත රිදවා ගන්නවට වදා වෙන්වීම සැපක් කියලා කියනවානෙ. ඔහු තීරණයක් ගන්නවා.

ඒත් දෙයියනේ මේ තරම් කාලයක් ආදරේ කරපු හිත කොහොම අමතක කරන්නද? කෙටි කාලයකින් හමුවෙලා ගොඩනඟපු ආදර කතාවක් නම් පොඩ්ඩක්වත් හිත හදාගන්න තිබුණා. ඔහු දෛවයෙන් ප්‍රශ්න කරනවා. මහ සාගරයක් තරම් වුණත්, අහිමි ආදරයක් තමන්ට උරුම කලේ ඇයි කියලා.

-------------------------
අපිට අපේ වෙන්න වරම් නෑ... අද මේ මොහොතෙ, අපේ වෙන්වීමෙන් පස්සෙ උදාවෙන කාලය පුරාම මං ලෝකයේ තනිවෙනවා. හෙටට උරුම ඒ දුක, කඳුළ, සුසුම මගෙ හිතට රිදුම් දෙනවා. ඔයා ඈත් වෙලා ගියාට පස්සෙ මං කා වෙනුවෙන් ජීවිතය දිනන්නද? කා වෙනුවෙන් ජීවත් වෙන්නද?

අපි ඇස් දිහා බලාගෙන හිතේ දුක නිවාගමු. ඔයාට මතකද අපි මුණ ගැහිලා කතා කරපු හැටි, විහිළු කරපු හැටි... ඒ හැම කතාවක්ම අදින් පස්සෙ මිය යනවා. හිතට දුකයි තමයි. ඒත් අඬන්න එපා. ඇඬුවා කියලා මේ ආදරේ රකින්න බැහැ. මේ අහන්න මේක නිමාව නෙවෙයි. මේක තවත් එක ඇරඹුමක් විතරයි. සත්තකින්ම...

████████████████████████

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා...
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා...

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ...
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදොa අහිමි ආදරේ...

පතන්නට පවා මා වරම් අහිමිවූ
හැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුම වූ...
දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු...

·································································
පද රචනය : දයා ද අල්විස්‌
සංගීතය : ස්‌ටැන්ලි පීරිස්‌
ගායනය : රෝහණ බෝගොඩ

●●● Like & Share us! ●●● ░http://www.facebook.com/HithaGaawa ░