Friday, December 7, 2012

කුමරි බඹසර - නන්දා මාලිනී


මේ හඬට, මේ පද මාලාවට ඇඟ කිලිපොලා නොයයි නම් ලේ රත් නොවෙයි නම් ඒක පුදුම විය යුතු කරුණක්. ඒ තරමටම නන්දා මාලිනිය ගයන මේ ගීතය අපේ හදවත් කම්පා කරවන සුලු ගීතයක්.

"කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට
 බිලි දෙමි...
බිලි ගනින් මා බිලි ගනින්...
කුමරි බඹසර බිලි ගනින්..."

මේ යුවතියගේ, කන්‍යාවියගේ හඬ තුල ගැබ්ව ඇත්තේ හුදෙක්ම දුක් වේදනාවක් පමණකැයි කිසිවෙකුට කියන්න බැහැ. හේතුව මේ පද මාලාව හරහා මේ අසරණ යුවතිය ධනපති පන්තියේ සල්ලාලකම, වනචාරීකම ගැන කේන්තියෙන් සහ ආත්ම අනුකම්පාවකිනුයි කතා කරන්නෙ.

ඇය යන්නෙ රැකියාවක් සොයාගෙන. ඔව්! ඇයට සියලු අධ්‍යාපන සුදුසුකම් තිබෙනවා. නමුත් අධ්‍යාපන සුදුසුකම් වලට වඩා යමක් ඇයගෙන් හාම්පුතා බලාපොරොත්තු වෙනවා.

කුමරි බඹසර...

යුවතියකගේ පාරිශුද්ධත්වය, කන්‍යාභාවය කියන්නෙ සාම්ප්‍රදායික සමාජයේ තරුණියකගේ 'හොඳ හෝ නරක' පෙන්වන දර්ශකයක්. අනෙක් අතට එය යුවතියකට අභිමානයක් මෙන්ම වටිනාකමක් ගෙනෙන දෙයක්. ඒ නිසාම යුවතියකට එය සම්පතක්. මංගල රැයේ දුක හෝ සතුට තීරණය කරන නිර්ණායකයක්.

මේ හාම්පුතා ඇගෙන් ඉල්ලන්නෙ එහෙව් වටිනාකමක් තිබෙන යමක්. ඇය ශාප කරන්නෙ සමස්ත ධනපති පන්තියේ සල්ලාල හාම්පුතුන්ට. අධ්‍යාපන සහතික වලට එහා ගිය යමක් යුවතියකගෙන් පතන හාම්පුතුන් ආයතන ප්‍රධානීන් ගැන අප කොතෙකුත් අසා තිබෙනවා.
"ලිංගික අල්ලස් ගැනීම"... අපට නුහුරු වචනයක් නෙවෙයි.

මේ ගීතය හරහා නන්දා මාලිනිය ගයන්නෙත් ලිංගික අල්ලස් ගැනීමක් ගැන තමයි. මේ ගීතයේ පද රචකයා බොහෝ දුරට මහාචාර්ය සුනිල් ආරුයරත්නයන් විය යුතුයි. නන්දා මාලිනියගේ තියුණු හඬටවඩාත් ගැලපෙන ලෙස රෝහණ වීරසිංහයන් සංගීතය නිර්මාණය කොට තිබෙනවා.

මොහොතකට මට මෙහෙම හිතෙනවා. මේ ගීතයේ කතානායිකාව මේ කෑ ගසා කියන්නෙ ඇයට මේ සමාජයේ ඇතැම් ස්ථර එක්ක තියෙන වෛරය ගැන. ඒක සාධාරණයි. නිකමට අපි හිතමු ඇය දුප්පත් විශ්ව විද්‍යාල උපාධිධාරිනියක් කියලා.

හොඳින් ගීතය අහලා මොහොතක් හිතලා බලන්න. ඔබටම තේරේවි ඒ දුක, වේදනාව...

████████████████████████

කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට බිලි දෙමි...
බිලි ගනින් මා බිලි ගනින්
කුමරි බඹසර බිලි ගනින්...

ශිල්ප සඳහා ලැබූ සහතික
හදේ ගින්නෙන් දවමි තොප ලඟ...
මුදල් අගයන තොපේ ලොවකට
උගත්කම් ගුණ දහම් කුමටද...

තොපට බිලි වී තොපෙන් සුරැකී...
කාණු පල්ලේ පලි ගසන්නෙමි
දිනෙක තොපගේ ලොවම බිලි ගෙන
අපේ ලෝකය ගොඩනඟන්නෙමි...
·································································
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : නන්දා මාලිනී

No comments:

Post a Comment