Monday, June 10, 2013

නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ

ප්‍රථම ‍ප්‍රේමයේ කඳුළු බිංදුව 

ප්‍රථම - පළමු - පළවැනි හැමදේම අපූර්ව දෙයක් විදියට සලකන්නට මනුෂ්‍යත්වය අපට පුරුදු කරවා ඇත. හැමදේකින් ම ප්‍රථමයා වන්නට අප බොහොමත් කැමැති ය.

ප්‍රථමයා ලකුණු සියයක් ලබා හිනා සෙනවිට අන්තිමයා ‘ඕඩ්ඩා’ ලෙස සරදම් ලබා හඬා වැටෙයි.

ජිවිතය නමැති තක්සලාවේදී ද අපට මේ පාඩම් - දඬුවම් හරි හරියට ලැබෙන්නේ ය. ජීවිතයේ ප්‍රථම වරට අපට ආදරයේ නියාමය කියා දෙන්නේ තාත්තා ය. අම්මා ඒ ආදරය ප්‍රායෝගික කරන්නීය.

ක්‍රම ක්‍රමයෙන් යොවුන් වියට එළැඹෙන විට අම්මාගේ - තාත්තාගේ - ආච්චිලා සීයලාගේ - අයියා අක්කලාගේ ආදරය බිංදුවට බස්සමින් කවුදෝ කෙනෙක් ‘දේවතා එළියක්’ අරගෙන එයි. මේ අමුත්තා හෝ අමුත්තිය දුරස්ථ කෙනකු ලෙස නොපෙනෙයි.

සංසාරේ කොහේදී හෝ හමුවෙලා ඇති බවක් ම පෙනෙයි. ඔහු හෝ ඇය ඒ ගෙනෙන්නේ ආදරයේ දේවතා එළියයි! ඉක්බිති...

ඒ ප්‍රේමයට ලකුණු සියය ගත්තෝ දිනති. ලකුණු බිංදුව ගත්තෝ ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුවත් අරගෙන එකම බෝට්ටුවකට ගොඩවෙති.

මේ ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුව කෙතරම් බරද කිව්වොත් මියෙන තුරාම එය බිම තැබෙන්නේ නැත. නමුත් මේ කඳුළු බිංදුව ට හැබෑ වටිනාකමක් දී ජීවිතය ජය ගැනීමට පන්නරය ලබා ගත්තෝ නම් බොහොමය.

ඒ නිසා ම ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුව අති සුන්දර වටිනා දෙයකි. ඒ නිසා ම එය කවියන්ගේ ගීත රචකයන්ගේ නොසිඳෙන - නොසන්සිඳෙන පන්හිදවලට ඇතුළු වී රදා උල්පත් මවා පාදා දී සිත්සතන් ආලෝලනය කරවයි. ලෝකයම සුන්දර තැනක් කරවයි.

නින්ද නැති රැයේ
සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද
ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී
නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි
රෝස පෙති කඩා හැලේ

කිළිපොළා සැලී යමින්
නොහිටි සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා
ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ
සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී
යා යුතුව තිබේ

රැය ගෙවේ සඳත් නිවේ
දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ
පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා
මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි
සොඳුර ඒ මගේ


පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය, ගායනය - විශාරද ගුණදාස කපුගේ

මේ ද ප්‍රථම ප්‍රේමයේ කඳුළු බිංදුවකි. ප්‍රේමය යනු හුදෙක් හැඟීමක් මිස ක්‍රියාවක් නොවේ යැයි මට සිතෙයි. ප්‍රේමය ඉබේ හටගන්නවා මිස හටගන්වන්ට බැරි නිසා ය. ක්‍රියාත්මකවීම් සිදුවන්නේ පසුව ය. මුලින් ම හැඟීම ය. ‘ප්‍රේමතෝ ජායතී සොකෝ’ එය නිර්මල බුද්ධ වචනයයි. ප්‍රේමය නිසා ශෝකය උපදී. මේ ප්‍රේමය සම්මත ද අසම්මත ද යන්න ප්‍රේමයට අදාළ නැත. ඒ මුලින් ම හැඟීම ද බැඳීම ද පමණක් ඇතිවන නිසා ය.

නමුත් ප්‍රේමය අසම්මත වූ විට දෙන ශෝකය තවත් තීව්‍ර වෙයි. ඒ එහි ස්වභාවයයි. නින්ද නැති රාත්‍රියේ සඳ හඬයි. ඒ කඳුළු මීදුමක් හදයි. ප්‍රථම ප්‍රේමය හඬා වැටෙයි. කඳුළු මීදුම නිසා සදේ එළිය පෙනෙන්නේ නැත. පෙනෙන්නේ තරු එළියක් විතර ය. ඒ තරුත් දියට වැටී තාරකා නිල් එළිය ද නිවී යයි.

කඳුළු බිංදු වැහි බිංදු වී කඩා වැටෙයි. රෝස පෙති කඩා හැලෙයි. ප්‍රථම ප්‍රේමයේ කඳුළින් දෙතොල් තෙමී යයි. ජීවිතයේ හුදෙකලා පාළු තනිකම් සීතල ඔබේ උණුසුමට පවරා දී රාත්‍රියට සිහින දකින්නට ඉඩ හරිමි. හෙට උදේ ම අවදි වී මා යා යුතුමය. ඒ මට රැඳීමට අයිතියක් නැති හෙයිනි.

මේ ප්‍රේමයේ අසම්මත ස්වභාවයක ඉඟිය රචකයා අපට පහදන්නේ ඒ පදයෙනි. රාත්‍රියට ළං වී උදෑසනේ දී නික්ම යන සිහිනයක ගැලී සොයාගත හැකි තිර සතුටක් නම් නැත්තේ ය. මේ හිමි නොවීම තුළ ඇතිවන ‘බන්ධනය’ දැඩි නිසා ම හමුවන්නට බැරිවීම තුළ ඇති ‘වේදනා දණ්ඩනය’ ද වැඩිවෙයි.

රෑ ගෙවී යයි. සඳත් නිවී යයි. ජීවිතේ දුරස්වෙයි. හංසයා සිය තුඬු පියුම් කැකුළත ගටා පියුම් පුබුදුවන්නාසේ මම ජීවිතයේ දුක් කම්කටොලු වියවුල් නමැති කටු පොකුර සිප මලක් පුබුදුවමි. මේ මගේ එකම හාදුව ය. ප්‍රථම හාදුවය. අලුත්ම හාදුව ය.

ප්‍රේමය පිළිබඳ මනරංජන සිතුවමක් මැවූ මේ ගීතයේ නිර්මාපක රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගැන පැවසුවේ මෙයයි. “මේ ගීතය මා මුල් ම කාලයේ ලියූ ගීතයක්. අසූ තුනේ විතර කාලෙදි... ප්‍රේමයේ ශෝකය දනවන විදියට ලියැවුණු එම ගීය මා නම් කළේ ‘ප්‍රථම ප්‍රේම සිහිනය’ නමින්. අවසානයට එන පදවල එන ‘කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ’ කියා කොටස ඇත්තටම මගේ ‘වස්සානේ’ කෘතියේ මා ලියූ ‘කටු පොකුර - සිපගතිමි හෙට මලක් වනු පිණිස’ කියන අරුතමයි ඇතුළත් කළේ... ගීතය සංගීතවත් කොට ගැයුවේ විශාරද ගුණදාස කපුගේ ශූරීන් ය.

ඉතින්... ජීවිතයේ දුක්කම්කටොලු දරිද්‍රතාව කලාකරුවන් ආදරයෙන් සිපගත්තේ ජීවිතය ජය ගැනීමේ බලාපොරොත්තුවෙනි. මල් නැති කටු පඳුරු මත හාදූවක් තබන්නේ හෙට දවසේ මලක් පූදීවා යන ප්‍රාර්ථනයෙන් නිසාම ඒ මල්වල සුවඳ අපට ද ජීවිතය මේ යැයි හදවත පතුලටම දනවන්නේ ය.

- යමුනා මාලිනි පෙරේරා -

ප්‍රේමය පුදදී අවසානයි - චාමර වීරසිංහ සමඟ රාජිකා

අද කියන්න යන්නෙ ටිකක් විතර අමුතු, මෑත කාලයේ 'වෙනස් කතා තේමාවක්' රැගත් අතිශය ජනප්‍රිය වුණු ගීතයක් ගැන. චාමර වීරසිංහලව, දමිත් අසංකලාව 'මේ අපේ පරම්පරාවයි' කියලා කියාගත්තු කොට්ඨාශයක් සැලකුවේ පීචං ගායකයෝ විදිහට. කොහොම වුණත් ප්‍රවීණ ගායක ගායිකාවන්ගෙ පවා මේ ගායකයින් ගැන පැහැදීමක් තිබුණෙ නෑ. ඒත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි, චාමරලත් සුභාවිත ගීත ගායනා කරලා තියෙන වග. අද මේ කතා කරන්න යන්නෙත් ඒ වගේ ගීතයක් ගැන.

-------------------------------
තවත් එක ප්‍රේමයක්. වරද කාගේ වුණත් ඇය ඔහුගෙ ආදරයට පිටුපාලා වෙනත් තරුණයෙකු විවාහ කරගන්නවා. තමන්ට පිටුපාලා ගිය ඇයව හොයාගෙන ඔහු ඇගේ වත්මන් කැදැල්ලට යනවා. අතිශය සුන්දරයි මේ හමුවීම. හේතුව, ලෝකය අසම්මතයි කියන සමහර හමුවීම් ඇතුළෙ අමුම අමු සුන්දරකමක් තියෙන නිසා.

බැලූ බැල්මට මේ ගීතයේ කතානායකයා මේ කියන කතාව ඇතුළෙ ඔහු මේ කරන්නෙ 'තහනම් ගහේ ගෙඩි කෑමක්ද' කියන සාධාරණ සැකය අපිට මතුවෙනවා. සරලවම කිව්වොත් ඒ සැකය පවා අතිශය සොඳුරුයි.

කොහොම වුණත් කාලයකට පස්සෙ තමන්ගෙ පරණ පෙම්වතියව හමු වුණ මේ පෙම්වතාට මේ තහනම් සෙවණට සමු දෙන්න හිත දෙන්නෙ නෑ. ඔබත් පොඩ්ඩක් හිතලා බලන්න. කාලයක් ආදරෙන් හිටපු හිතක් අහම්බෙන් හෝ යළි හමු වුණාම අපි හැමෝම උත්සාහ කරන්නෙ තව තත්පරයක් හෝ ඒ හිත යට ඇලවිලා ඉන්න. එහෙම නේද?

'තහනම් සෙවනෙන් යන්න' කියලා මේ පරණ පෙම්වතිය කිව්වත් ඇය පවා එහෙම කියන්නෙ හිතකින් නොවන වග මට හිතෙනවා. අර කතාවක් තියෙනවානෙ 'අළුත් ආදරේට වඩා පරණ ආදරේ සුවඳයි' කියලා. ඇයටත් එහෙම දැනෙනවා ඇති.

------------------------------------------
එහෙනම් අහලම බලන්න. දැහැන්ගත වෙලා.

සහෘදය, අසම්මතය හරි රහයි.

████████████████████████
ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි...
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න...

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි...
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න...

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්...//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න

ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න...

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්...//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න

වත ගෙන යන්නම් දුරට
සිතනම් බැහැ ගෙන යන්න...

·································································
ගායනය : චාමර වීරසිංහ සමඟ රාජිකා

www.youtube.com/watch?v=cVwlY4e3OrM

♫♫ NO MUSIC = NO LIFE ♫♫ - Hitha Gaawa SPECIAL

සිංහල ගීතය - කුමාරදාස සපුතන්ත්‍රී විසිනි. 

සිංහල ගීතයේ දක්නට ලැබෙන ආකෘති තුනක් වේ.
1. ගී
2. සිවුපද
3. සැහැලි යනු ඒවායි.

සියබස් ලකරේ පටන්, සීගිරි ගී ද ඇතුළු ව , පැරණි යුගයේ ලියැවුණු ගී කාව්‍ය, ගී විරිත් ආකෘතියෙන් බැදුණේ ය. සිංහල කාව්‍ය වංශයේ මුදුන් මල් කඩ වන් කව්සිළුමිණි මහා කාව ද බැදුණේ ගීයෙනි. යා ගී, දුවඟ ගී, යොත් මත් වැල් ගී, බමර ගී, තාරිකා ගී ආදී ගී විරිත් රැසකි. මේ ගී විරිත් නූතනයේ දී ගායනයෙන් බැහැර ව තිබුණ ද අතීතයේ දී රසවත් ව ගැයුණා විය හැකි ය.

ගම්පොළ යුගයේදී නැතහොත් ඒ ආසන්නයේ දී පද්‍යය ගීයෙන් සිවුපදයට හැරිණි. කෝට්ටේ යුගය වන විට එහි උපරිම සංවර්ධන ලක්ෂණ සිවුපද ආකෘතිය තුළ පිළිබිඹු කරන්නට අපේ කීහු සමත් වූහ. ඉක්බිතිව මාතර යුගයේ දී සිලෝ විරිත් භාවිතයට ගැනුණු නමුත් එය වඩාත් ප්‍රචලිත වූයේ නැත. කොළඹ කවි යුගයේ දී බහුලව උපයෝගී කරගන්නා ලද්දේ ද සිවුපද ආකෘතිය යි. ඉනුදු, "දෙසෙන් අටෙන් යති - අටළොස් මතින් බැදුණේ" යනුවෙන් එළු සදැස් ලකුණෙන් හදුන්වා දුන් සමුද්‍ර ඝෝෂ වෘත්තයයි, කොළඹ කවීන් සිය අනුභූතීන් හි හැඩ රුව නිමහම් කිරීමට වැඩිපුර ම යොදාගන්නා ලද්දේ.

සමාජ සංකීර්ණත්වය, බුද්ධිමය ප්‍රවණතා පුළුල්වීම, සම්මත සදැසේ ඇතැම් සීමා බන්ධන, වචන කෝෂයේ සීමිත බව ආදී හේතූන් මත “නිසදැස් කවිය“ බිහිවිණැයි අනතුරුව විචාරකයින් විසින් හේතු සම්පාදනය කැරුණේ, කොළඹ යුගයේ කවියෙහි දුබලතා ජයගන්නට බිහි කැරුණු නව නිසදැස් කාව්‍ය සම්ප්‍රදාය හදුන්වා දෙමිනි.

සැබැවින්ම එසේ බිහිවූ නිසදැස් කාව්‍යය, නිසදැස් කාව්‍යයක් ම වූයේ ඇයි? නිසදැස් නමින් ඒ රචනා හදුන්වන්නට සුදුසු “නිර්ඡන්දය“ ලක්ෂණය කොතෙක් දුරට එම කාව්‍යයන්ගෙන් ප්‍රකට වේද? මේ පිළිබද කරුණු කිහිපයක් ලුහුඬින් සාකච්ඡා කිරිම වැදගත් ය.

------------------------------------------
නිසදැස් කවි, සදැස් කවි ගැන තවදුරටත් දැනගන්න කැමති ද?
එසේ නම් මේ ලිපියේ මීලඟ කොටසින් හමුවෙමු!

මේ හිත ගාව පිටුවෙන් ඔබට පිදෙන තවත් වෙනසක්.
~ එක්වන්න අප සම්ඟ ~
හිත ගාව - (Hitha Gaawa)

සුවඳ දෙන මල් වනේ - රූකාන්ත

අද කතා කරන්න හදන්නෙ තවත් එක සුවිශේෂී ගීතයක් ගැන. සංගීතය ඉගෙන ගනිද්දි ඔබත් අහලා ඇති 'ගාන සමය' ගැන. එහෙමත් නැත්නම් කිසියම් ගීතයක්/රාගයක් ගායනා කිරීමට සුදුසුම වේලාව ගැන. මම විශ්වාස කරන විදිහට නම් මේ ගීතය අහන්න වගේම ගයන්නත් හොඳම වෙලාව තමයි අඳුර ගලා එන, පුර හඳ පායන රාත්‍රිය. ඔබත් හිතින් මවා ගන්න එහෙම රාත්‍රියක්.

වෙන්වීම කියන්නෙ හිතකට හිතන්න ගොඩාක් දේවල් ඉතිරි කරන දෙයක්. පණ තියෙන මිනිස්සු ආදරේදි හදවතින් වෙන්වෙනවා. ඒ වගේම භෞතිකවත් වෙන්වෙනවා. මේ කතා කරන්නෙ භෞතිකව වෙන් වීමක් ගැන.

තමන්ගෙ සැමියා මිය ගිය බිරිඳකට දැනෙන දුක සහ හැඟීම් ගැන අපිට පිටස්තරයෝ විදිහට සාධාරණ නිගමනයකට එන්න බෑ. ඒත් අපි දන්නවා ඒවා ගොඩාක් දුක හිතෙන සිතුවිලි කියලා.

"මේ නුරා සැඳෑ සමේ සෝ සුසුම් හෙලා..."

සරලවම කියනවා නම් අනුරාගය හරිම මිහිරියි. ඒත් වියෝ වීමක් එක්ක ගෑවුණු අනුරාගය අතිශය වේදනාකාරීයි. සමහරවිට ඒක සැමියා මිය ගිය කාන්තාවකට දැනෙන හැටි ගැන අපිට හිතාගන්නවත් බෑ. සැමියා ගැන හිතේ තියෙන ආදරයත්, අනුරාගයත් එකට එකතු වුණාම ඒක අතිශය ප්‍රබල විදිහට හදවත පසාරු කරන, රිද්දන හැඟීමක් බවට පත් වෙනවා. මඳ අඳුර පවා යලි යලිත් අත වනන්නෙ ඒ වගේ සිතුවිලි වලටමයි.

------
ඇය ඈත අහසේ තාරකා දිහා බලාන ඉන්නවා. සිත සහ ගත හොයන්නෙ තමන්ගෙන් වියෝ වුණු සැමියාව. ආයෙත් කවදා තමන්ව හොයාගෙන සැමියා ඒවිද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් වෙනුවට ලැබෙන්නෙ ඉකි බිඳුමක්, හැඬුමක්!

"සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා...
ඔබේ ළමැඳේ සෙනේ මැඳුරේ සුසුම් නැඟිලා..."

----------------------------------------------------
මේ ගීතයේ අර්ථය තරමක් විවාද සම්පන්නයි. සමහර විට මේ ගීතයේ කතානායකයා අර මුලින් කී කාන්තාවගෙ වර්තමාන සැමියා වෙන්න පුළුවන්. මොකද මේ ගීතයේ අග බාගය පුරාවටම කතානායකයා තමන්ගෙ වචන මෙහෙයවන්නෙ ඇයට ලෝකයේ අනිත්‍ය ගැන කියලා සනසවන්න.

ඔබ පොඩ්ඩක් හිතලා බලලා රස විඳින්න අදහස් පල කරන්න...!

████████████████████████

සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා...
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
ඔබේ ළමැඳේ සෙනේ මැඳුරේ සුසුම් නැඟිලා
සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා...
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා

මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තාරකා දිහා නිල් නුවන් යොමා...
ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා...
නෑ පලේ තැවී හඬා වේදනා දරා
වේදනා දරා...

මේ ලොවේ දිනූ අපේ ජීවිතේ කෙටියි
කාලයේ රහස් වසා ජීවිතේ ගලයි...
මේ කුලුත් පියාසලා කුලින් කුලේ රැඳෙයි...
ආදරේ අමා හැඟුම් මා සිතේ නැඟෙයි
මා සිතේ නැඟෙයි...

·································································
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය සහ ගායනය : රූකාන්ත ගුණතිලක

කේ.ඩී.කේ.ධර්මවර්ධන

මිල්ටන්ගේ-කේ. ඩී. කේ. ගේ සොහොන් කොත් එක ළඟ හැදුවේ දෙදෙනාගේ මිත්‍රත්වය නිසයි.
- සමදරා කෝට්ටගේ

2000 නොවැම්බර් හය වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙලොවින් සදහටම සමුගෙන ගිය ඔහු කළුආරච්චිගේ දොන් කුමාරසිරි ධර්මවර්ධන ය. අප කවුරුත් දන්නා හඳුනන පරිදි නම් ඔහු කේ. ඩී. කේ. ධර්මවර්ධන ය.

දක්ෂ, ජනපි‍්‍රය ගී පද රචකයකු මෙන්ම විද්‍යුත් මාධ්‍යවේදියකු ද ව සිටි කේ. ඩී. කේ. අපෙන් වියෝ වී අදට හරියටම වසර එකොළහකි. සිය අමිල මෙහෙවර උදෙසා කිසිදා බුහුමන් නොලද විශිෂ්ට කලාකරුවකු වන කේ. ඩී. කේ. අද බොහෝ දෙනකු හට අමතක වී ගොස් ඇති සේය. එහෙත් ජීවන ගමන් මඟෙහි ඔහුගේ සහකාරිය වී රැඳී සිටි සමදරා කෝට්ටගේ වන ඇයට නම් කේ. ඩී. කේ. පිළිබඳ මතක අමතක නොවන්නාක් මෙන්ය. සමදරා අවදි කළ කේ. ඩී. කේ. පිළිබඳ මතක සැමරුම් ඇසුරෙන් ලියැවෙන ලිපියකි මේ.

කේ. ඩී. කේ. ගේ වෘත්තීය ජීවිතය පිළිබඳ කියනවා නම්...? 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහකාර පුස්තකාල කළමනාකරු ලෙස තමා කේ. ඩී. කේ. මුලින්ම ඔහුගේ වෘත්තිය ජීවිතය අරඹා තියෙන්නේ. ඒ අතර එකල පළ වූ ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ ලේඛකයකු ලෙස ද කටයුතු කර ඇති කේ. ඩී. කේ. පසුව සිය පුස්තකාල කළමනාකාර රැකියාව සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට මාරුවීමක් ලබාගෙන පැමිණෙන්නේ ගුවන් විදුලියට සම්බන්ධ වීමට වැඩිපුර අවස්ථාව ලබා ගැනීමට ය.

1967 දී ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස සේවයට එක් වී පසුව තැටි ගබඩා භාරකරු, වාචික වැඩ සටහන් පාලක, සිටි එෆ්. එම්. පාලක වශයෙන් විවිධ තනතුරු දරා ඇති කේ. ඩී. කේ. අවසාන කාලයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ‘උම්අල්ක්වේන්’ ගුවන් විදුලියේ සිංහල වැඩ සටහන් භාර ප්‍රධානියා ලෙස කටයුතු කරමින් උන්නා.

කේ. ඩී. කේ. රට හැර ගියේ ඇයි? 

කලකිරීම නිසා. විශේෂයෙන්ම එවකට සේවා ස්ථානයේ ඇති වූ ප්‍රශ්න කිහිපයක් නිසා කේ. ඩි. කේ. පුදුමාකාර කලකිරීමකින් උන්නේ. ගුවන් විදුලියේ වහල යටයි අපේ ජීවිතවල වැඩි කාලයක් ගත වී ගොස් තියෙන්නේ. අපි අපේ ගෙවල්වල ගත කර ඇති කාලය ඉතාම ටිකයි. ඉතින් එහෙම වුණාම ප්‍රශ්න නිසා කලකිරීම් ඇති වීම පුදුම වෙන්න කාරණයකුත් නෙමේ. ජීවිත කාලයෙන් වැඩි කාලයක් කැප කළ සේවා ස්ථානය ගැන කලකිරුණාම කේ. ඩී. කේ. ට මේ රටේ ඉන්න එකත් වදයක් වගේ වුණා. ඒ හින්දයි ඔහු රට හැර ගියේ.

ගී පද රචකයකු ලෙස කේ. ඩී. කේ. සතු වූ ප්‍රතිභාව පිළිබඳ ඔබට හැඟෙන්නේ කෙසේ ද?

කේ. ඩී. කේ. සතුව පැවති ප්‍රතිභාව ඔහුට සහජයෙන්ම උරුම වූ අසාමාන්‍ය ප්‍රතිභාවක් ලෙසයි මට හැඟෙන්නේ. සහජයෙන් ගී පද රචකයකු වුණා වගේම මහනුවර ධර්මරාජ විදුහලෙන් මල්වතු විහාරයේ වෑඋඩ දේවමිත්‍ර නායක ස්වාමින් වහන්සේගෙන් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා හැදෑරීමෙන් උපමා රූපක යොදමින් බස හැසිරවීමට ද කේ. ඩී. කේ. වඩාත් පරිණත වී තිබෙනවා. පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් අතර වෙනස තේරුම් අරගෙන සාර්ථකව නිර්මාණකරණයේ නියැලෙන්න කේ. ඩී. කේ. ට පුළුවන් වුණේ භාෂා පිළිබඳ ඔහු සතු එම පරිණතභාවය නිසා යි.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැයු “මහ වැස්සක පෙර නිමිති” (මා දැන් මහලු වියේ), කුමරියක පා සළඹ විජේරත්න වරකාගොඩ ගැයූ“මිහිරි සිහිනයක දැවටුණු” ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැයු “දිනෙක හිරු බැස යන” - “නීල බිඟු කැල” - “හෝපලු වන පෙත” - “සඳ හිරු පවතින තුරු” - “අපි උදේ ගිහිල්ලා” වැනි හැත්තෑවේ දශකයේ වඩාත් ජනපි‍්‍රය වූ ගීත සංකල්පනාවන්ගේ හිමිකාරයා කේ. ඩී. කේ. වූ අතර වර්තමානයේ ගීතලෝලීන් අතර ද ආදරය දිනා ඇති “මගෙ හිත වෙනතක” - “සතුටු සුළං රැලි” - “කවුදෝ කවුදෝ” (ඉන්ද්‍රානි පෙරේරා) - “ආදර සීනුව“ - “රනින් මාල” (ග්‍රේෂන් ආනන්ද) - “රන් මී විත පුරවා” - “මා සනසා” - “නිලුපුල් යුවළේ” (මර්වින් පෙරේරා) - “ඇගේ සිනහව තහනම්” - “ගම මහනුවරයි” (චන්ද්‍රකුමාර් කඳනආරච්චි) - “රිදී නිම්නය කඳුළු නිම්නය” (බන්දුල විජේවීර) - “සුරඟන වෙස් වළා” (ගෝල්ඩන් චයිම්ස්) - “බිඟු බමා බමා” - “ඔබට සිත ආදරේ කරයි” (දයාරත්න පෙරේරා) - “සුවඳ දෙන මල් වනේ” (රූකාන්ත ගුණතිලක) වැනි ගීත දෙදහසක් පමණ ඔහුගේ ගී පද සරණියේ ඇතුළත් ය. මෙහිදී අපට අමතක කළ නොහැකි දායකත්වයක් කේ. ඩී. කේ. ධර්මවර්ධන නමැති ගී පද රචකයාට ලැබී ඇත්තේ මිල්ටන් මල්ලවආරච්චි ගායන ශිල්පියාණන්ගෙන් ය. කේ. ඩී. කේ. මුලින්ම ගී පද රචකයකු වන්නේ ද මිල්ටන්ගේ ඇරියුමින් ය. ඒ පිළිබඳව සමදරාගේ මතකය අවදි වූවේ මෙසේ ය.

“කේ. ඩී. කේ. ගේ නිවේදන කලාවට බෙහෙවින්ම කැමැති කෙනෙකු තමා මිල්ටන්. ඒ වගේම ඔවුන් දෙන්නා හොඳ මිතුරෝ. ගීත ලියන්න කේ. ඩී. කේ. ට මුලින්ම ආරාධනා කර තියෙන්නේ මිල්ටන්මයි. ඒ අනුව මිල්ටන්ට ලියූ “ආදරයේ මිහිර රැඳී” ගීතය කේ. ඩී. කේ. ගේ මුල්ම ගී පද රචනය වුණා. එකල එය එතරම්ම සාර්ථක ගීතයක් නොවුණු නිසා ගී පද රචනයට කේ. ඩී. කේ. උදාසීන වෙලා ටික කාලයක් ඉන්න කොට මිල්ටන් නැවතත් බලකර තියෙනවා ඔහුට ගීතයක් ලියන්න කියලා. ඒ නිසා ලියු “දෙඅදර විලිකුන් සුරත් පලේ” ගීතය සාර්ථක නිර්මාණයක් වීමත් සමඟ තමයි කේ. ඩී. කේ. සෘජුවම ගී පද රචනයට පිවිසී තියෙන්නේ.”

මිල්ටන් කේ. ඩී. කේ. සුසංයෝගයෙන් නිර්මාණ වූ ගීත පිළිබඳ ඔබේ මතකය පවසනවා නම්...?

මිල්ටන්ට කේ. ඩී. කේ. ගීත සිය ගණනක් ලියා තියෙනවා. මිල්ටන් ගැයූ “රණබර ඉඳුඳුණු සිතුවම් වෙලා” - “සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්” - “මා හා එදා පි‍්‍රය සාදයේ” - “සයුරු තෙරේදී” - “මට මෙන් ඔහුට ද කඳුළ ඔබයි” - “උපුල් කොපුල් වෙහෙසී ඇතේ” - “රන්මසු නැහැ කියා” - “ඉවුරු තලා ගංඟා බැස යනවා” - “සිටු කුමාරියේ ඔබේ සිනා සඳළු තලාවේ” - “කෙසේ කියන්නද ඔබ මා අතහැර” - “නිරතුරු ඔබ ගැනම සිතන්නෙමි” වැනි ගීත ගණනාවක්ම පද රචනා කේ. ඩී. කේ. ගේයි. මිල්ටන්ට ලියු අවසාන ගීතය “වීණා බිඟු වීණා” ගීතයත් සැබෑ අත්දැකීමක් ඇසුරෙන් ලියු ගීතයක් බව කේ. ඩී. කේ. කියලා තියෙනවා. කඳුකර ප්‍රදේශයක දී රාත්‍රි සාදයකදී හමුවූ යුවතියක් සම්බන්ධ ඒ අත්දැකීම කේ. ඩී. කේ. ට කියලා තියෙන්නේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයි.

කේ. ඩී. කේ. ගේ සමීපතම හිතවතුන් වුණේ කවුරුන් ද? 

මිල්ටන්, වික්ටර්, චන්ද්‍රකුමාර්, මර්වින්, විජය කුමාරතුංග සහ දයාරත්න පෙරේරා තමයි කේ. ඩී. කේ. ගේ සමීපතම හිතවතුන්ව උන්නේ. ඒ අයගෙන් මිල්ටන් කේ. ඩී. කේ ට පුදුමාකාර මිත්‍රත්වයක් ආදරයක් තිබුණු හිතවතෙක්. මිල්ටන් කේ. ඩී. කේ. ව ඇමතුවේ ‘ධර්මේ’ කියලා. අසනීප වෙලා නවලෝක රෝහලේ ඉන්න කොට මිල්ටන්ව බලන්න කේ. ඩී. කේ. සමඟ මමත් ගියා. ඒ වෙලාවේ මිල්ටන් කේ. ඩී. කේ. ගේ අත්දෙක අල්ලාගෙන ඇඬුවා. මිල්ටන්ගේ ඇස් දෙකෙන් කඳුළු ගලා ගෙන ඇවිත් කේ. ඩී. කේ. ගේ අත්දෙක තෙමුණා. කනත්තේ මිල්ටන්ගේ සොහොන ළඟින්ම කේ. ඩී. කේ. ගේ සොහොනත් මම හැදුවේ දෙදෙනාගේ ඒ මිත්‍රත්වය හින්දාමයි. ඒ වගේම දෙදෙනාගේම සොහොන් කොත්වල සඳහන් කරලා තියෙන්නේ එක සමාන ගීත සරණියක් බවත් එහි යන කාට වුණත් දකින්න පුළුවන්.

- ජෝජ් රොබ්සන් ද සිල්වා -

උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත

එන්න... මේ සුභාවිත ගීත හරහා තාරුණ්‍යයේ සිතුම් පැතුම් වෙනස් කරන්නට කාලයයි...!

උපතේ ඉඳන් මැරෙනකල් ම ඒ ඒ අවස්ථාවලදි අඬන්න, සිනාසෙන්න, ඒ ඒ අවස්ථාව වඩාත් කලාත්මක විදිහට රස විඳින්න පුළුවන් ගීත සාහිත්‍යයක් අපිට තියෙනවා. සතුටු වෙන්න ඒ ගැන! එහෙව් මහා විශාල හරබර ගීත රාශියක් පොත් පිටු අතරේ, කැසට් පටවල, සීඩී තැටිවල, පරිගණකවල තියාගෙන අපි මොකට හිස් වෙච්ච මනසින්, බොල් හැඟීමකින් ඒ ඒ අවස්ථාවට මුහුණ දෙනවද? නේද?

සිහියේ තියාගන්න. සිංදු අහන එක, කියවන එක සහ සිංදු රස විඳීම එහෙමත් නැත්නම් හදවතින්ම කියවීම කියන්නෙ කාරණා දෙකක්. අපේ කාලයේ තරුණ තරුණියෝ 'සුභාවිත ගීත' කියන ලේබල් ගහපු ගීත කුලකය 'කියවපු' හැටි වැරදියි. අපේ පරපුර අමරදේව ව කියෙව්වා වැරදියි. නන්දා මාලිනීව කියෙව්වා වැරදියි.

අමරදේවගෙ සිංදුවක් ඇහෙද්දි "අපෝ... නින්ද යනවා" කියන අය ආදරයෙදි පැරදිලා අමරදේවගෙම "විකසිත පෙම් පොකුරු පියුම්" ගීතය සවනින් නෙමෙයි - හදවතින් - අහනවා නම් අපේ මේ සොඳුරු ව්‍යායාමය අතිශය සාර්ථකයි.

අරමුණක්, දැක්මක්, ජවයක් නැතුව හිටපු අපේ තරුණ පරපුරට නන්දා මාලිනියගෙ "යදමින් බැඳ විලංගු ලා" ගීතය ඇහෙද්දි ලේ රත් වෙනවා නම්, විප්ලවීය මානසිකත්වයක් ඇති වෙනවා නම් අන්න අපි දිනුම්...!

තේරුම් ගන්න! ගීතවලට ඇබ්බැහි වීම කියන්නෙ පිස්සුවක්. ඒ වගේම සුභාවිත ගීත වලට ඇබ්බැහි වීම කියන්නෙ අතිශය සොඳුරු පිස්සුවක්!

අපි කතා කරමු... මේ දෙවැනි ඇරඹුම පමණයි...!

එන්න... මේ සුභාවිත ගීත හරහා තාරුණ්‍යයේ සිතුම් පැතුම් වෙනස් කරන්නට කාලයයි...!

●●● Like & Share us! ●●● ░ http://www.facebook.com/HithaGaawa ░

නෙතින් නෙත බලාලා - රෝහණ බෝගොඩ

මේ ගීතය ඇහෙද්දි දැනෙන හැඟීම විස්තර කරගන්න හරිම අමාරුයි. හේතුව, මේ ගීතය දැනෙන්නෙ අපේ හිතට විතරක් නෙවෙයි හදවතට නිසා. ඒක මහ පුදුමාකාර ගීතයක්.

ආදර සම්බන්ධයක කෙලවර හෙවත් වෙන්වීම ඇතුලෙ අමුතු 'පට්ට රසයක්' තියෙනවා. ඒ රසය අපිට ඕනෙ ඕනෙ විදිහට රස කර කර - විඳගන්න නෙවෙයි - විඳවන්න පුළුවන්. සරලවම කිව්වොත් අපි කවුරුත් ඒ විරහ දුකට හරි ආසයි. ඒ පපුවටම දැනෙන නිසා.

මේ තවත් එක වෙන්වීමක්. දිගු කාලයක් තිස්සෙ හරිම ආදරයෙන් ගලාගෙන ගියපු අතිශය සුන්දර ආදර කතාවක්. ඒත් ගොඩක් ආදර කතාවල වගේ මේ තරුණයා මේ තරුණියට කොච්චර ආදරේ කළත් මේ තරුණියව තමන්ට අහිමි බව මේ තරුණයා වටහා ගන්නවා. අහිමි බව දැන දැනත් පෙම් කරලා හිත රිදවා ගන්නවට වදා වෙන්වීම සැපක් කියලා කියනවානෙ. ඔහු තීරණයක් ගන්නවා.

ඒත් දෙයියනේ මේ තරම් කාලයක් ආදරේ කරපු හිත කොහොම අමතක කරන්නද? කෙටි කාලයකින් හමුවෙලා ගොඩනඟපු ආදර කතාවක් නම් පොඩ්ඩක්වත් හිත හදාගන්න තිබුණා. ඔහු දෛවයෙන් ප්‍රශ්න කරනවා. මහ සාගරයක් තරම් වුණත්, අහිමි ආදරයක් තමන්ට උරුම කලේ ඇයි කියලා.

-------------------------
අපිට අපේ වෙන්න වරම් නෑ... අද මේ මොහොතෙ, අපේ වෙන්වීමෙන් පස්සෙ උදාවෙන කාලය පුරාම මං ලෝකයේ තනිවෙනවා. හෙටට උරුම ඒ දුක, කඳුළ, සුසුම මගෙ හිතට රිදුම් දෙනවා. ඔයා ඈත් වෙලා ගියාට පස්සෙ මං කා වෙනුවෙන් ජීවිතය දිනන්නද? කා වෙනුවෙන් ජීවත් වෙන්නද?

අපි ඇස් දිහා බලාගෙන හිතේ දුක නිවාගමු. ඔයාට මතකද අපි මුණ ගැහිලා කතා කරපු හැටි, විහිළු කරපු හැටි... ඒ හැම කතාවක්ම අදින් පස්සෙ මිය යනවා. හිතට දුකයි තමයි. ඒත් අඬන්න එපා. ඇඬුවා කියලා මේ ආදරේ රකින්න බැහැ. මේ අහන්න මේක නිමාව නෙවෙයි. මේක තවත් එක ඇරඹුමක් විතරයි. සත්තකින්ම...

████████████████████████

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා...
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා...

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ...
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදොa අහිමි ආදරේ...

පතන්නට පවා මා වරම් අහිමිවූ
හැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුම වූ...
දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු...

·································································
පද රචනය : දයා ද අල්විස්‌
සංගීතය : ස්‌ටැන්ලි පීරිස්‌
ගායනය : රෝහණ බෝගොඩ

●●● Like & Share us! ●●● ░http://www.facebook.com/HithaGaawa ░